ඥාති පුතාට ලිංගික අතවර කළ පුංචි අම්මා වසර 21ක් හිරේට

වයස අවුරුදු පහළොවක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර පුංචි අම්මා කෙනකු එකී චෝදනා තුනටම වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඇයට වසර විසි එකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

එක් අධිචෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් මෙම විසි එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කරනු ලැබීය. නියම කළ විසි එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර හතකින් ගෙවී යෑමටද මහාධිකරණ විනිසුරු වීරමන් මහතා නියෝග කළේය.

ඊට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් පන්සියය බැගින් විත්තිකාරියට මුදලින් දඩ නියම කළ මහාධිකරණ විනිසුරු වීරමන් මහතා එම දඩු මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස තුන බැගින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කළේය.

විත්තිකාරියට දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් විත්තිකාරියට එරෙහිව නඟා ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

තමන්ට නඟා ඇති චෝදනා අසත්‍ය බවට විත්තිකාර පාර්ශ්වය අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂි පැමිණිල්ලේ සාක්ෂි බිඳ දැමීමට තරම් ශක්තිමත් පදනමකින් හෙබි ඒවා නොවන බවද ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂි විශ්වාසනීයත්වයෙන් යුත් ඒවා බවද කීවේය.ඒ අනුව විත්තිකාරියට එරෙහිව නඟා ඇති අධි චෝදනා තුනටම ඇය වරදකාරිය බවට තමා නිගමනය කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

පළමු දෙවැනි සහ තෙවැනි අධිචෝදනාවන්ට විත්තිකාරියට වෙන් වෙන් වශයෙන් වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු වීරමන් මහතා එම සිර දඬුවම් වසර හතකින් එකවර ගෙවී යෑමටද නියෝග කළේය.

මෙසේ බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ කැකිරාව මරදන්කඩවල වනමල් උයන පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටය.
2007 වසරේ ජූලි මස 10 වැනි දින සහ 2008 වසරේ ජූනි මස 31 වැනි දින අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් මරදන්කඩවලදී විත්තිකාරිය මෙම වරද සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය ප්‍රකාරව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකාර කාන්තාවට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. සිද්ධියට අදාළව විත්තිකාර කාන්තාව කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කලක් රිමාන්ඩ් භාරයට පත් කර සිටියාය. නඩුවේ තීන්දුව ලබා දෙන තෙක්ම ඇය සිටියේ අධිකරණය මඟිින් නියම කර තිබූ ඇප මතය.

ඇය මීට වසර 10 කට පෙර වයස 38 ක්ව සිටියදී 2007 ජූලි මස සහ 2008 ජූනි මස අතර කාලය තුළ අනුරාධපුර මරදන්කඩවලදී තමන්ගේ සොයුරියගේ 15 හැවිරිදි පුත්‍රයා නිවසේ සවස් කාලයේ
බලාගන්නා බව පවසමින් එම දරුවාට විවිධ චාටු බස් කියමින් ශාරීරික අංග උත්තේජනය කර වැරදි ක්‍රියාවන්ට පොළඹවා තිබෙන බව පරීක්ෂණ වලදී සනාථවී තිබේ. එම දරුවාට ‘අපි සෙල්ලමක් කරමු‘ යයි යෝජනා කර දරුවා ලවා තම ශාරීරික ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගෙන තිබෙන්නේ අතිශය පිළිකුල් සහගත ආකාරයටය.

එම සියලු දේ රහස් වශයෙන් තබාගන්නටත් ඔහු නතු කරැගෙන තිබෙන මෙම පුංචි අම්මා කළ ක්‍රියාවන් පසු කලෙක අනාවරණය වී තිබෙන්නේ දරුවාට ඇතිව තිබෙන රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්නට මාපියන් සමග රෝහලට ගිය අවස්ථාවකදීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා ඇතුළු හත් දෙනෙක් මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් ලෙස දරුවාට එල්ලවූ පීඩාකාරී තත්වයන් පිළිබඳ කරුණු උසාවියට වාර්තා කර තිබුණි.
විත්තිකාරියට දඩුවම් නියම කළ අවස්ථාවේ ඇගේ පවුලේ ඥාතීහු අධිකරණ ශාලාවෙන් පිටත රැඳී සිටිමින් කෑකෝ ගසන්නට වූහ.

බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදකට කාන්තාවකට මෙරට මහාධිකරණයකින් මෑත කාලයේ විසි එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික නඩු විභාගය කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර විශේෂ මහාධිකරණයට යොමු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ කසුන් සරත් චන්ද්‍ර මහතා පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ භාෂාන්ති රාජකරුණා මහත්මියගේ උපදෙස් මත නීතිඥ චතුර ධනංජය මහතා පෙනී සිටියේය. කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය.