ලොව ධනවත්ම කාන්තාව දිවියෙන් සමුගනී

ලෝක ප්‍රකට ලෝරියාල් (L'Oreal) විලවුන් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියාන් බෙටාන්කුවර් (Liliane Bettencourt) දිවියෙන් සමුගත් බව ඇයගේ පවුලේ ඥාතීහු නිවේදනය කළහ.
මිය යනවිට 94 හැවිරිදි වූ ලිලියාන් සිය නිවසේදී අවසන් හුස්ම හෙලූ බව එම නිවේදනයේ දැක්වෙයි.
ලොව ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ඇයගේ වත්කම 2017 වසරේ දී ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් බිලියන 40ක් වන බවය.

වසර 2012 දී ලෝරියාල් සමාගමෙන් ඉවත් වූ ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉතා කලාතුරකිනි.
කෙසේ නමුත් ඇයගේ නම නිතර මාධ්‍ය ඔස්සේ කියවෙන්නට පටන් ගත්තේ ඇය ඩිමෙන්ශියා නමින් හැඳින්වෙන, මතකය හීනවීමේ රෝගයෙන් පෙළෙන්නට පටන් ගැනීමෙන් අනතුරුව කිහිප දෙනෙකු ඇයගෙන් සූරාකෑමට පටන්ගත් බවට චෝදනා එල්ල වීම නිසාය.
දූපතක් තෑගිකර
ලෝරියාල් සමාගමේ ප්‍රධාන විධායක නිලධරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් ලිලියාන් ඉමහත් සේවයක් සිදුකර ඇති බවය.
ලිලියාන්ගේ මතකය හීනවෙමින් පවතිද්දී ඇය වටා සිටි පිරිසක් ඇගේ වත්කම් සූරාකා ඇති බවට චෝදනා කරමින් ලිලියාන්ගේ දියණිය 2007 දී අධිකරණය ඉදිරියට ගියාය.
ලිලියාන් සමඟ මිත්‍ර වූ ඡායාරූප ශිල්පියෙකුට ඩොලර් මිලියන සිය ගණනක් වටිනා දුර්ලභ භාණ්ඩ සහ සීෂෙල්ස් හි අක්කර 670ක දූපතක් තෑගිකර තිබූ බව වසර 2008 දී හෙළිදරව් විය.
ඔහුට තෑගි කර තිබූ භාණ්ඩ අතර පිකාසෝ විසින් අඳින ලද සිතුවම් ද තිබුණි.


ලිලියාන් බෙටාන්කුවර් සිය දියණිය ෆ්රන්ශුවාස් බෙටාන්කුවර්-මයර්ස් සමඟ 2011 වසරේ දී
ලිලියාන්ගේ දියණිය නඩු මගට බැස්සේ ඉහත කී පුද්ගලයා දරුකමට ගැනීමට තම මව සුදානම්වෙමින් සිටි බවට නිවසේ සේවක සේවිකාවන් විසින් ඇයට දැනුම් දීමෙන් අනතුරුවය.
ඩිමෙන්ශියා රෝගය හේතුවෙන් මතකය හීනවෙමින් පවතින ලිලියාන් පවුලේ සාමජිකයන් භාරයේ තැබීමට වසර 2010 දී ප්‍රංශ අධිකරණයක විනිසුරුවරයෙක් නියෝග කළේය.
නමුත් ලිලියාන්ගේ වත්කම් සූරාකෑම පිළිබඳ නඩු විභාග ඉදිරියට යමින් පැවතුණු අතර පසුකාලීනව එය දේශපාලන අපචාර චෝදනා දක්වා දිගුවෙන්නට විය.

2007 වසරේ පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් හිටපු ජනපති නිකොලාස් සර්කෝසි දිනවීම සඳහා ලිලියාන්ගේ මුදල් ඇයගේ මූල්‍ය කළමනාකරු විසින් වියදම් කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල විය.
නීතිවිරෝධී මූල්‍ය ආධාර ලබාගත් බවට තමන්ට එල්ලවූ චෝදනා ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලාස් සර්කෝසි විසින් දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කරන ලදී.
අවසානයේ ඔහුට තිබූ සියලු චෝදනා ඉවත් කර ගැනීමට ප්‍රංශයේ නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කළේය. ඒ 2013 වසරේදී ය.
අට දෙනෙකුට දඬුවම්
කෙසේ නමුත් ලිලියාන්ගේ වත්කම් සූරාකෑ බවට වැරදිකරුවන් වූ අට දෙනෙකුට දඬුවම් ලබා දීමට වසර 2015 දී අධිකරණය නියෝග කළේය.
අනතුරුව ලිලියාන්ගේ වත්කම් සහ ලෝරියාල් සමාගමෙන් ඇයට ලැබෙන ආදායම භාරකාර මණ්ඩලයක් යටතට පත් කරන ලදී. එම භාරකාර මණ්ඩලය පවතින්නේ ලිලියාන්ගේ දියණියගේ පාලනය යටතේ ය.
ලිලියාන් වෙනුවට ලෝරියාල් සමාගමේ නියෝජ්‍ය සභාපතිවරිය බවට පත්වූයේ ලිලියාන්ගේ මුනුබුරෙකි.
කොණ්ඩා පැහැ ගැන්වීම සඳහා වර්ණක නිෂ්පාදනය කරමින් 1909 වසරේ දී ලිලියාන්ගේ පියා ආරම්භ කළ කුඩා වෙළඳ සමාගම පසුකාලීනව ලෝරියාල් සමූහ ව්‍යාපාරය බවට පත්විය.
මේවනවිට ලොව විශාලතම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම බවට පත්ව ඇත්තේ ලෝරියාල් සමාගමයි.