ගිනස් මඟුල උසාවියට!

ගිනස් වාර්තා ලෝකයට බිහිවන්නේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙක්ගේ හෝ කණ්ඩායමක අරුම පුදුම හැකියාවන් ලෝක වාර්තාවන් බවට පත්කිරීමේ අරමුණ ඇතුව ය. ලෝකය පුරාම ජනප්‍රිය වුණු මේ ගිනස් වාර්තා පොත ශ්‍රී ලංකාවේ අපට ද එතරම් ආගන්තුක දෙයක් නොවේ. ඒ මක්නිසාදයත්, ඔළුවෙන් බිඳ හෙළූ වැඩිම කොන්ක්‍රීට් කුට්ටි සංඛ්‍යාව, පැයකදී ඇඳි වැඩිම කමිස ගණන, ලෝකයේ වැඩිම දෙවැනි මනාලියන් ගණනක් හිටපු මංගලොත්ස්වය වැනි ගිනස් වාර්තා රැසක් අපේ උදවිය සතුවන නිසා ය. කෙසේ නමුත් මේ මොන විකාර වාර්තා ද යන සිතුවිල්ල නම් ඒවා ගැන ඇහෙන දකින අයට පහළ වීම ද ස්වභාවික ය.

තවත් එවැනි අමුතු තාලේ ගිනස් වාර්තාවක් තැබීමට උත්සාහ ගත් මනාල යුවලක් පිළිබඳව පසුගියදා මහනුවර ප්‍රදේශයෙන් අසන්නට ලැබිණ. මීටර 3880ක් දිග සාරි පොටක් සහිත සාරියක් ඇඟ දවටාගත් මනාලියක් එය ලෝකයේ දිගම සාරිය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළු කරගත්තාය.
සජිනි ප්‍රියංගිකා සුරවීර නම් මේ තරුණිය වෘත්තීයෙන් මෝස්තර නිරූපිකාවකි. ඇගේ අතගත් මනාලයා වූයේ රුවන් පුෂ්පකුමාර නමැත්තෙකි. ඔවුන්ගේ මංගලෝත්සවය සඳහා දෙවන මනාලයින් 10ක් හා දෙවැනි මනාලියන් 10 බැගින් වූ අතර මල් කුමාරියන් 100ක් ද සිටියහ.
ගන්නෝරුව කෘෂිකර්ම පර් යේෂණ ආයතනය අසල මහා මාර්ගයේදී ලොරියක පටවා ගෙනැවිත් තිබුණු මනාලියගේ සාරි පොට දිග හැරීම ආරම්භ විය. කිලෝමීටර 3.8ක් දිගැති මේ සාරි පොට දිගහැරීම සඳහාම පැය ගණනක් ගත වූ අතර අවසානයේදී ගිනස් කමිටු සාමාජිකයින් පැමිණ එය පරීක්ෂා කර බැලූහ. මේ අවස්ථාවට මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්. සිසිර කුමාර මහතා ද ඊට සහභාගී වී සිටියේය.
මෙහි ඇති කතාන්දරය සාරි පොටේ දිග හෝ ගිනස් වාර්තාව නොවේ. මෙහි ප්‍රධාන කතාව යටින් ලියැවුණු හද කලකිරෙන අතුරු කතාව වූයේ, කොහේවත් යන මනාලියකගේ මෝඩ චූන් වාර්තාවක් වෙනුවෙන් අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන කුඩා දැරියන් 150කට පමණ දැඩි අව් රශ්මියෙන් පීඩා විඳිමින් පේරාදෙණිය ගැටඹේ ප්‍රධාන මාර්ගය දිගේ සාරි පොට අල්ලාගෙන සිටීමට සිදුවීම ය. සිත් පිත් නැති මනාලියගේ මල් කුමාරියන් ලෙස තෝරාගෙන තිබුණේ ද එම පාසලේම තවත් දැරියන් සිය දෙනෙකි. ඔවුන් ද දැඩි අව් රශ්මියත් වෙහෙසත් නිසා පාරේ තැනින් තැන විඩා හරිනු දක්නට ලැබිණ. ඔවුන්ට මේ මංගල්ලයේ අසිරියක් නම් දැනෙන බවක් පෙනුණේ නැත.
පළමු වසරේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මේ පාසලේ කුඩා සිසුවියන් මේ මරිමෝඩ වැඩසටහන වෙනුවෙන් එදින පාන්දර 2.30ට පාසලට කැඳවා තිබුණි. අනතුරුව පාසලට පැමිණ තිබූ බස් රථයකින් ඔවුන්ව ගන්නෝරුව මංසන්ධියට ගෙනැවිත් දමා තිබුණි.
පාන්දර 2.30 යනු වැඩිහිටියන්ට පවා අවධියෙන් සිටීමට අසීරු වේලාවකි. මේ සියල්ලට මඟ පෑදූ මධ්‍යම පළාත් මහ ඇමැති තැන ද ඒ වේලාවේ සුව නින්දේ පසුවන්නට ඇති බවට සැකයක් නැත. නමුත් මේ සිඟිති දියණියන් පාන්දර යාමයේ සිට බලහත්කාරයෙන් අවධි කරවා තබාගෙන, ඔවුන් නමක් ගමක් දන්නේවත් නැති මනාල යුවලකගේත් සාරි නිර්මාණකරුවන්ගේත් මෝඩ ආසාවන් මුදුන් පත්කරවා ගැනීමට කටයුතු කිරීම ඇත්තෙන්ම අපරාධයකි.
මධ්‍යම පළාත් අධ්‍යාපන විෂය භාර ඇමැතිවරයා ද වන මහ ඇමැති සරත් ඒකනායක තම බලය අත්තනෝමතික අයුරින් භාවිත කරමින් අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලේ විදුහල්පතිගේ සහාය ඇතිව මෙසේ පාසල් දැරියන් මෙම විකාර වැඩසටහනට එක් කරගෙන ඇති බව වැඩසටහන අතරතුරදී ගම්‍ය විය. පාසල් දිනයකදී ළමුන්ගේ අධ්‍යාපනයට අබමල් රේණුවක සම්බන්ධයක් නැති විකාරයකට පාසල් දැරියන් එක් කරගෙන ඔවුන් මහ දවල් මහපාරේ අව්වේ තැබීම එම ළමුන්ට සිදුවූ බලවත් අසාධාරණයක් බව කිව යුතුම ය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදාළ විදුහලේ විදුහල්පති තැන කියා සිටියේ එම දිනය ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන දිනයක් බවත් තම පාසලේ දැරියන් ඊට සහභාගී වී සිටීම මහත් සතුටක් බවත් ය. දේශපාලකයන්ගේ අමන තකතීරු තීරණවලට එහෙයි කියන මෙවන් පුද්ගලයන් සමස්ත ගුරැ ප්‍රජාවට එක්කරන්නේ නින්දාවකි.
මේ ගැන තොරතුරු විමසීමට සජිනි ප්‍රියංගිකා සුරවීර නම් වූ මනාලියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්ත ද ඊට පිළිතුරු දුන් පිරිමි තැනැත්තා පැවසූයේ ඇය මේ මොහොතේ රැකියාවට ගොස් සිටින නිසා සම්බන්ධ කරගත නොහැකි බව ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, තමා මේ සිදුවීම පිළිබඳ කිසිවක් දැන නොසිටි බව ය.
අලවතුගොඩ පාසලේ සිසුන්ට බලවත් අසාධාරණයක් වී හමාර ය. නමුත් ගිය දේ ගියාවේ යැයි කියා බකන්නිලා සිටීමේ හැකියාවක් නැත්තේ එවන් අසාධාරණයකට වගකිව යුත්තන් කවුරුන්දැයි හෙළි කරගත යුතු නිසා ය. තවද පාසල් ළමුන්ව තම සිතැඟි අනුව විවිධ ප්‍රවර්ධන වැඩවලට භාවිත කිරීමට දේශපාලකයින් සතුව ඇති මෙම කාලකන්නි ප්‍රවණතාවය ද කණපිට හැරිය යුතුව තිබේ.
මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක
ලෝකයේ දිගම සාරිය මධ්‍යම පළාතෙන් බිහිවීම අපට ලොකු ගෞරවයක්. මීට කලින් ලෝකෙ දිගම සාරිය තිබුණෙ ඉන්දියාවේ. දැන් ඒ ගෞරවය ලංකාවට, මධ්‍යම පළාතට ලැබිලා තියෙනවා. මම අපේ රටේ මාධ්‍යවලිනුත් ඉල්ලා සිටිනවා මේ වැඩසටහනට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන්න කියලා.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්
අපි මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා. පාසල් ළමුන්ව මේ විදිහට පාසල් නිල ඇඳුමින් ප්‍රවර්ධන වැඩවලට සහභාගී කරවා ගන්න බැහැ. මධ්‍යම පළාතේ තියෙන හැම පාසලක්ම එයාගෙ බූදලයක් කියලා මහ ඇමැතිතුමා හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ. මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමැතිත් එයානෙ. මේ වගේ දෙයක් කරන්න කලින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් අවසරය ගත යුතුයි. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කළ යුතුව තියෙනවා.
ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා
අපි මේ සිද්ධිය ගැන සම්පූර්ණ විමර්ශනයක් පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ වාගේ වැඩසටහනකට පාසල් ළමුන්ව යොදාගන්න කවුද අනුමැතිය දුන්නේ? එය කාගේ අදහසක්ද? වගේ කරුණු අපි එහිදී අනාවරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. මේක පැහැදිලිවම ළමුන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමක්. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ අපි සාකච්ඡා කිරීමට සූදානමින් ඉන්නවා.
ලොව දිගම සාරිපොට ගැන නම් සමාජ මාධ්‍යවල වගේම ජනමාධ්‍යවලත් බොහෝ වාර්තා පළවිය. එහෙත් ඒ සාරිපොට අල්ලා ගැනීමට පාන්දර පටන් රස්තියාදු වූ දරුවන්ගේ සිත් ගැන නම් කවුරුත් කතා කරන්නේ නැත.

I රජිත ජාගොඩ ආරච්චි
පසුබිම් වාර්තා - ජේ.ඒ.එල්. ජයසිංහ