කාමරංකා කන්න එපා


වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන අතර මෑතක සිට කෙටිකාලීන වකුගඩු ආසාදන වඩාත් වේගයෙන් පැතිරෙන බව දක්නට ලැබේ. එබැවින් එකී රෝගයට හේතුව කුමක්දැයි සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. එම රෝගී තත්ත්වයට කාමරංකා පලතුර එක හේතුවක් බව විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමත් සමග රටේම අවධානය කාමරංකා වෙත යොමු විය. 

මේ එම වෛද්‍යවරයා හා කළ සාකච්ඡාවකින් ලියැවෙන ලිපියකි.

අපේ ළමා කාලයේ ගෙවතුවල බොහෝ පලතුරු ගස් තිබුණා මතකය. එහෙත් ඒ බොහෝ පලතුරු අපට සිත් සේ භුක්ති විදීමට දෙමාපියන් ඉඩ දුන්නේ නැත. ඒ විවිධ ලෙඩ දුක්වලට ඒවා මුල්වන බව කියමිනි. එහෙත් එක්තරා ගසක ගෙඩි සිත් සේ කෑමට අපට බාධාවක් නොවීය. කොළ පාටින් දිළිසි දිළිසි දාර බේරි තිබූ ඒ ගෙඩි කටට ගෙන හැපූ සැනින් කට කන ළඟට ගොස් කට කෙළවරින් කෙළ බේරෙන තරමේ ඇඹුලක් දැනුණා මතකය. කාමරංකා ලෙසින් හැඳින්වූ එකී පලතුරු විශේෂය අප එදා කොලුකමට කා දැමුවද අපේ අම්මලා තාත්තලා එය කෑමට ගත්තේ ‘සීනි අමාරුවට’ හොඳ බව කියමිනි. එහෙත් අප මේ කියන්නට යන්නේ කාමරංකා ගැන ඊට වඩා ඉඳුරාම වෙනස් ප්‍රවෘත්තියකි.

කාමරංකා ගැන මෙතුවක් රටේ තිබුණේ එය දියවැඩියාවට හොඳ බෙහෙතක් බවය. එමෙන්ම නිතර කෑමෙන් දත් පිරිසිදු වන බවට විශ්වාසයක්ද විය. එහෙත් මේ සියල්ල යටපත් කරමින් පසුගිය සතියේ කාමරංකා ගැන අලුත් පුවතක් රට පුරා පැතිර යන්නට විය. බට කැ‍ලේට ගිනි තිබ්බා සේ රටේ පැතිරුණ එකී පුවතින් කියවුණේ කාමරංකා නිසා වකුගඩු අකර්මණ්‍ය වන බවය. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කර තිබුණේ ජාතික රෝහ‍ලේ වෘක්ක වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන එරංග විජේවික්‍රම විසිනි.

අනාදිමත් කාලයක් ලාංකිකයාගේ ජනප්‍රිය පලතුරක් වූ කාමරංකා මෙතරම් බිහිසුණු රෝගී තත්ත්වයකට අත වනන්නේ කෙසේදැයි ඔහු පැහැදිලිි කළේ මෙසේය.
“කාමරංකා කියන්නේ ඇඹුල් රසැති පලතුරකි. මෙහි ඔකසිලික් ඇසිඩ් නමැති අම්ල වර්ගය අඩංගු වෙනවා. මෙකී අම්ල වර්ගය ශරීරගත වූ පසු වෘක්කාණු (වකුගඩු තුළ ඇති)නම් නාල විශේෂයට හානි ගෙන එනවා. ඒ කියන්නේ ඒ නාල අවහිර වෙනවා. වකුගඩුවල මෙවැනි නාල විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා මුත්‍රා පෙරීමට දායක වෙනවා. මෙම නාල අවහිර වීම නිසා මුත්‍රා කිරීම අඩාලවී සිරුරෙන් ඉවත්විය යුතු විෂ වර්ග වන යූරියා වැනි දේවල් වකුගඩු තුළ රැඳෙනවා. එය හානි කරයි“

විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන පරිදි කාමරංකා පිළිබඳ සැකය ඔහු තුළ ජනිත වනුයේ අහඹු ලෙස කළ තොරතුරු විමසීම් නිසාය.

“ජාතික රෝහලට එන වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එක් කොටසක් අපි දන්න නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන අය. අනිත් අය දියවැඩියාව, විෂබිජ ශරීරගතවීම වැනි යම් නිශ්චිත තත්ත්වයක් නිසා වකුගඩු රෝගී වූ අය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා ඒ හිටි හැටියේ වකුගඩු රෝගී වූ අයයි. එය විශේෂ තත්ත්වයක්. නිරෝගීව සිටි කෙනකු හිටි හැටියේ වකුගඩු අසාදිතයන්වීම සුවිශේෂ කරුණක්. එවැනි රෝගීන්ගේ රෝගී තත්ත්වය ගැන දැන ගන්න අපි විවිධාකාර ප්‍රශ්න කිරීම් කරනවා. එතැනදී ඔවුන්ගේ ආහාරපාන, ඇවතුම් පැවැතුම්, රැකියාව වැනි දේ ගැන අපි විමසනවා. එවැනි සොයා බැලීම්වලදී රෝගීන් ගණනාවකගෙන්ම කාමරංකා ආහාරයට ගත් බව තහවුරු කරගන්නට පුළුවන් වුණා” 

රෝගීන්ගේ ප්‍රකාශ මගින් කාමරංකා ගැන ඇතිවූ සැකය තහවුරු කර ගැනීම වෛද්‍ය එරංග ඇතුළු සගයන්ගේ ඊළඟ අවශ්‍යතාව ලෝකයේ විවිධ රටවල පළමු වෛද්‍ය ‍ලේඛන (Medical jarnal) විධිමත්ව අධ්‍යයනය කරන්නටද සිදුවිය. එහිදී බොහෝ ‍ලේඛනවලින් වකුගඩු ආසාදනය සහ කාමරංකාවල සබැඳියාව තහවුරු කරගත හැකි විය. 

ඒ අනුව දිගු කලක් කළ සොයා බැලීම්වල අවසානයේ කාමරංකා කෙටි කාලීන වකුගඩු ආසාදනවල සබැඳියාව තහවුරු කර ගත හැකි විය. කාමරංකා මගින් කෙටි කාලීන වකුගඩු රෝග ඇති කිරීම එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඇතැම්හු දින ගාණක් හෝ මාස ගාණක් කාමරංකා කෑ පසු කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාවට ලක්ව ඇත. එමෙන්ම තවත් අය එක කාමරංකා ගෙඩියක් කෑ පසු මෙකී රෝගී ලක්ෂණ පෙන්වා ඇත. තවත් අය පානයක් ලෙස එක දිනක් පානය කළ පසු රෝගී ලක්ෂණ පෙන්වා ඇත. ඊට හේතුව වෛද්‍ය එරංග විජේවික්‍රම පහදා දෙනුයේ මෙසේය.
“කාමරංකා ප්‍රධාන ආහාර වේලට පසු අතුරුපසක් ලෙස ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. ඒත් හිස්බඩ කාමරංකා කෑම හෝ බිම සුදුසු නෑ. ඊට හේතුව ආමාශයේ ආහාර නැති වෙලාවලදී කාමරංකාවල ඇති ඔක්සිලික් අම්ලය සෘජුවම ශරීරගත වන වීමයි.
ඒ වගේම තමයි කන ප්‍රමාණය, දිනපතා ගෙඩි ගණනාවක් කෑම නැතිනම් ගෙඩිය බැගින් දිගුකාලයක් කෑම රෝගී ලක්ෂණ පෙන්වීමට ගතවන කාලයට බලපානවා. ඒ වගෙම තමයි ඔබේ වකුගඩුවල ඔබ නොදන්නා සුළු හෝ රෝගී තත්ත්වයක් තිබුණෙත් කාමරංකාවල හානිය ඉක්මනින් දැනෙන්න පුළුවන්”
අතීතයේ කාමරංකා වැඩිපුර කෑවේ ගම්වල ඇත්තන්ය. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. නාගරික සුපිරි ජීවිත ගත කරන්නන්ට කෑම මේසයේදී තමුන් අමතක කළ ගම සිහිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ නිසාමදෝ ඔවුහු අඟුණකොළ, තැල් කොළ, පතෝල, වැටකොළු, මියන දලු ආදී ගම්වල කෑම සොයා යති. අනෝදා, වෙරළු, කාමරංකා වැනි හද්දා පිටිසර සුලබ පලතුරු සොයා සොයා යති. අලුත්ම ‘ටේ‍රන්ඩ්’ එක වී ඇත්තේ පලතුරු කෑම නොව බිමය. ඒ නිසා නාගරිකව ජීවත්වන්නෝ ජූස් බාර්වලට ගොඩවී සිත්සේ පලතුරු යුෂ පානය කරති. බොහෝ අය මේවා බොන්නේ උදෑසන ජොගිංවලට ගොස් එද්දී “ඒ වගේ වෙලාවට අපි ඉන්නේ හිස් බඩ. දාඩිය දාලා ඇඟේ ජල ප්‍රමාණය අඩුයි. ඉතින් ලොකු කාමරංකා වීදුරුවක් බිවම අපේ ශරීරයට වෙන හානිය ඉතාම වැඩියි. වකුගඩුවලින් තනිකරම කාමරංකා යුෂ පෙරන්න ගියාම වෘක්කාණු හානියට පත්වීම කඩිනම් වෙනවා” යැයි වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය.
කාමරංකා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් වැළකිය යුතු අය ලෙස වෛද්‍යවරු හඳුන්වන කණ්ඩායම් කිහිපයක් වේ. ඒ දියවැඩියා රෝගීන්, වකුගඩු බද්ධ කළ හෝ උපතින්ම එක වකුගඩුවක් ඇති රෝගීන් හා කිසියම් ආකාරයක වකුගඩු ආසාදනයකට ලක්වූවන් යන කණ්ඩායම්ය.
“එහෙම අය කාමරංකා ආහාරයට ගන්නවා නම් ඉක්මනින්ම රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි“ වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරන්නේය.
දිගු කලක් පුරා අප කෑමට ගත් පලතුරක් ගැන අලුතින් මතුව ඇති අවදානම කුමක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. වෛද්‍ය එරංග ජයවික්‍රම පවසන පරිදි කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාව සෑමවිටම මරණයෙන් කෙළවර නොවේ.
“කාමරංකාවල තියෙන ඔක්සිලික් ඇසිඩ් නිසා වෘක්කාණු අවහිර වුණ අය යළිත් එම පලතුර නොකා සිටීමෙන් වගේම ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවවන අවස්ථා තිබෙනවා. මොකද මෙම අවහිරතාව මහගැරී ගිය පසු මුත්‍රා පෙරීම සාමාන්‍ය අතට පත්වෙනවා. ඒත් වකුගඩු වැනි සංවේදී ඉන්ද්‍රියකට වන හානිය යළි සියයට සියයක්ම යථා තත්ත්වයට පත්වන්නේ නෑ. එවැනි රෝගියකුට පසුකාලීනව අවදානම ඉතා වැඩියි. ඒ වගේම තමයි විෂබිජ ශරීරගත වීමකට ලක් වුවහොත් තත්ත්වය බරපතළ විය හැකියි. විශේෂයෙන්ම කාමරංකා දියවැඩියාවට ගුණදායක බව පැවැසුනත් එවැනි රෝගීන් මෙම පලතුර ආහාරයට ගැනීම භයානකයි“ වෛද්‍ය එරංග පවසන්නේය.
එළවළු සහ සහල් වැනිදේට කෘෂිරසායනික අවිචාරවත්ව යොදන බව දැන දැනත් අපි ඒවා කරන්නෙමු. ඒ වෙනත් විකල්ප නැති බැවිනි. එහෙත් කාමරංකා යනු එලෙස නොතකා බැරි පලතුරක් නොවේ. එබැවින් හැකි සැමවිටම කාමරංකා කෑමෙන් වැළකී සිටීම සුදුසුය. එමෙන්ම කාමරංක කන සියලුදෙනාට වකුගඩු ආසාදන ඇතිවන්නේ නැති බවද වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය.
කාමරංකාවලට අමතරව එම කුලයටම අයිති බිලිංවලද ඔක්සිලික් ඇසිඩ් අඩංගුය. එබැවින් එයද ආහාරයට ගැනීමට පෙර සිතා බැලීම වඩාත් සුදුසුය.

ජීවක ජයසිංහ