සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පහසු මග

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බව ඔබ අසා ඇති. ඒ නිසාම මෙම ආසාදනය ඇති කරන රයිනෝ වෛරසය ජය ගැනීම පහසු කාර්යයක් නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කිරීමට ගත හැකි විවිධ ක්‍රමෝපාය සොයාගිය විද්‍යාඥයන් එහිදී ලද ප්‍රතිඵල කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට ද එම උත්සාහ දරා ප්‍රතිඵල උරගා බැලිය හැකි නිසයි.

උදෑසන ආහාරවේල ජයට ගන්න

නෙදර්ලන්තයේ සිදුකළ පර්යේෂණයකදී හෙළිදරව් වූ කරුණක් වූයේ උදෑසන හොඳ ආහාර වේලක් ගත් පුද්ගලයන්ට එවැනි ආහාර වේලක් නොගත් අයට වඩා පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාවට මුහුණ දීමට හැකි වූ බවය. ජය ආහාරවේලක් උදේට ගත් අයගේ රුධිරය තුළ “ගැමා ඉන්ටර්ෆෙරෝන්” නම් ප්‍රති - වෛරස සාධකය ඉහළ නැඟීම මඟින් මෙම හැකියාව ඔවුන් සතු වන බව පර්යේෂකයන් නිගමනය කළහ.

සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන මෙම උදෑසන ආහාර වේලට බත්, පළා, එළවළු, මාළු හෝ බිත්තර, කිරි සහ විටමින් සී සුලබ පලතුරක් ඇතුළත්ව තිබිණ.

ආරක්ෂක විධිවිධාන තරකර ගන්න

සෙම්ප්‍රතිශ්‍යාව වෛරසයට ඔබගේ නාසය තුළට ඇතුළු විය හැක්කේ ආශ්වාස වාතය මඟින් ඍජුවම හෝ ඇස්වල තැවරී, කඳුළු නාළ ඔස්සේ නාසය තුළට රිංගා ගැනීම මඟිනි. මේ නිසා ඔබ අසල සිටින සෙම්ප්‍රතිශ්‍යා රෝගියකු කිවිසුම් ඇරීමක් හෝ කැස්සක් සිදු නොකළේ නම් ඔබ තුළට වෛරසය ගලා ඒමට මඟක් නොමැත. 1984 දී සිදුකළ අධ්‍යනයකදී පෙනී ගොස් ඇත්තේ සිඹීම (තොල්පෙති ස්පර්ශ වන සේ සිටීම) හෝ මුඛය මාර්ගයෙන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීරගත වීමට පවත්නා හැකියාව අවම බවය. නමුත් සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකුගේ නාස් ස්‍රාව ගැල්වී ඇති තැනක ඔබ අත තැබුවහොත් හා එම අත නාසය පිරිමැදීමට භාජනය කළහොත් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හැකි බවය. සෙම්ප්‍රතිශ්‍යා ස්‍රාව (සොටු) තැවරුණ තැනක පැය 24ක් පමණ කාලයක් දක්වා සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට නිරුපද්‍රිතව විසිය හැකි බව හෙළිකර ගෙන ඇත. එහෙයින් හැකි හැමවිටම අත් පිරිසිදුව තබා ගැනීමත් සෙම්ප්‍රතිශ්‍යාවෙන් වැළකී සිටීමට උදව් වෙයි.

රෝගියකු කිවිසුම් අරින හෝ කහින තැනක ඔබ සිටියහොත් මඳ වේලාවක් හුස්ම නොගෙන හුස්ම අල්ලාගෙන සිටීම එක් ආරක්ෂාකාරී පියවරකි.

ආතතියෙන් මිදෙන්න

කනස්සල්ල, ආතතිය හා මානසික විඩාව සිරුරේ ආරක්ෂක ක්‍රියාදාමයට හරස් වෙයි. එහි ප්‍රතිඵල ඔබගේ රෝග මර්දන ශක්තිය එදෙසට යොමුවීම නිසා සෙම්ප්‍රතිශ්‍යාව සාදන රයිනෝවෛරසය වැනි වෛරසනයන්ට පහසුවෙන් සිරුර තුළට ඇතුළු වී කෙනෙකු රෝගී කළ හැකි වෙයි. සුළු ආතතියත් ජීවිතය සඳහා නරකක් සිදු නොකළ ද දැඩි ආතතියෙන් නිතර පෙළෙන අය තුළ සෙම්ප්‍රතිශ්‍යාව නිතර වැලඳීමේ හැකියාව තිබෙන බව පළවෙයි.

ලද දෙයින් සතුටු වීම, භාවනාවක යෙදීම සහ යෝග ව්‍යායාමවල යෙදීම සෙම්ප්‍රතිශ්‍යාවට වැටබඳින බව පවසන්නේ එහෙයිනි.

“ගී‍්‍රන් ටී”

පානය කරන්න

පසුගිය පර්යේෂණයකදී කැනේඩියානු පර්යේෂකයන් සෙම්ප්‍රතිශ්‍යා රෝග කාරක වෛරසය අඩංගුව තිබූ සාම්පලයකට ගී‍්‍රන් ටී නම් තේ එකක් එක් කරනු ලැබීය. එහිදී ඔවුන් නිරීක්ෂණය කරනු ලැබුයේ වෛරසය තවදුරටත් බෝනොවී පැවති බවය. සමහර තේ වර්ග තුළ අඩංගු ඊ.ජී.සී.ජී. (ඡ්.ට්.ඛ්.ට්) නම් රසායනිකය හපන්කම සිදුකළ බව පර්යේෂකයන්ගේ අදහස විය. එසේනම් සෙම්ප්‍රතිශ්‍යාව සෑදීගෙන එන විටම ගී‍්‍රන් ටී පානය කර මෙම රසායනිකය රුධිරය තුළට යාමට සැලැස්වීම සෙම්ප්‍රතිශ්‍යාව මර්දනයට පහසු මඟක් වනු ඇත.

කොත්තමල්ලි හා පත්පාඩගම් තැම්බූ වතුරේ ද මේ හා සමාන ගුණදායක් ඇති බව අප අත්දැකීමෙන් දනිමු. එහෙත් ඒවා තුළ ඊ.ජී.සී.ජී. හෝ වෙනත් සක්‍රිය රසායනිකයක් තිබේද යන්න දැනගන්නට නැත.

පැය 7-8ක් නිදන්න

ඔබ ලබන නින්ද අඩුනම් එනම් දිනකට පැය 4 -6 කට වඩා අඩුනම් ඔබගේ රෝග මර්දන ශක්තිය හෙවත් ප්‍රතිශක්තිය සියයට 50කින් බිඳවැටීමට එය හේතුවක් වේවි. වෛරසවලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිශක්ති පද්ධතියට අයත් “ස්වාභාවික නාශක සෛල” උපරිම මට්ටමෙන් ක්‍රියාකිරීමට දිනකට පැය 8ක පමණවත් නින්දක් ලැබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. නිදිමරමින් හෝ නින්දට පෙර මත්පැන් පානය කරමින් සෙම්ප්‍රතිශ්‍යාව ජය ගැනීමට සිහිනෙන් හෝ නොසිතන්න.

ව්‍යායාම කර ප්‍රතිශක්ති පද්ධතියට ජීවය දෙන්න

ඇමෙරිකාවේ මැසචුසෙට් සරසවියේ සිදුකළ පර්යේෂණයක් පෙන්වා දෙන්නේ නිති ව්‍යායාම ගන්නා සහ කායිකව සක්‍රිය කාර්යයන්හි යෙදෙන අය අතර සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම අනෙක් අයට වඩා සියයට 25ක් අඩුව දක්නට ලැබුණු බවය.

ව්‍යායාමයන්හි නිරතවීම නිසා සිරුරේ රෝග මර්දන හැකියාව සහිත සුදු රුධිර සෛල ප්‍රමාණය ඉහළ යෑමෙන් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් වීම මෙයට හේතුව ලෙස ඔවුහු දකිති.

සැහැල්ලු ඇඳුමින් සැරසෙන්න

අඳින ඇඳුම් පැළඳුම් ගැන ද පර්යේෂණ සිදුකර ඇති අතර ඇඟට හිර ඇඳුම් ඇඳ සිටිනවාට වඩා සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම සෙම්ප්‍රතිශ්‍යාව ජය ගැනීමට උදව් වන බව පෙන්වා දෙයි.

වාෂ්පය උරන්න

උණු වතුර වාෂ්පය, උණු වතුරට දෙහි කොළ දමා නැඟෙන වාෂ්පය, කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි.

සෙම්ප්‍රතිශ්‍යාවේදී නාසය සිර කරමින් පවතින ශලේෂමල ස්‍රාව, සොටු, බුරුල්කර දියකර හරිමින් නාසයේ සිරවීම හා කැස්ස දුරු කිරීමටත් එමඟින් හුස්ම ගැනීම පහසු කිරීමටත් අවස්ථාව සැලසේවි.

තුසිත මලලසේකර