ඇමැතිකම නැති වුණත් රවිට තාමත් ඇමැති සැප

රවි කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තෙසතියකට ආසන්න කාලයක් ගතවුවද ඔහු තවමත් කැබිනට් අමාත්‍යවරයකුට ලබා දෙන පොලිස් ආරක්ෂාව සහ අනෙකුත් ආරක්ෂක වරප්‍රසාදයන් භුක්ති විඳිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

අමාත්‍යවරයකු එම ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ ඉවත් කරනු ලැබුවහොත් ඔහුට ලබා දී ඇති පොලිස් ආරක්ෂාවද අඩු කිරීමට අවශ්‍ය ලිඛිත නියෝගය නීතිය හා සාමය අමාත්‍යාංශය මඟින් ඇමැති ආරක්ෂණ කොට්ඨාසයට නිකුත් කරනු ලබයි.

ඇමැති ආරක්ෂණ කොට්ඨාසයේ ආරංචි මාර්ග සඳහන් කළේ් රවි කරුණානායක මහතාගේ ඇමැති ආරක්ෂාව ඉවත් කිරීමට අදාළ ලිඛිත නියෝගයක් මෙතෙක් ලැබී නොමැති බවය.

බැඳුම්කර සිද්ධියත් සමඟ ඉකුත් 10 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රවි කරුණානායක මහතා තමා හෙබවූ විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස රවි කරුණානායක මහතා කටයුතු කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනකුද, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට පොලිස් නිලධාරීන් හය දෙනකුද කැබිනට් අමාත්‍යවරයකුට පොලිස් නිලධාරීන් හත් දෙනකුද ලබා දිය යුතුව ඇති බවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛනයෙහි සඳහන්ය.
නමුත් ආරක්ෂක විධිවිධාන මත මෙම පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වෙනස් වීමට හැකි බවද උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.