නාසිගුරාන් හදන නියම වට්‌ටෝරුව මෙන්න!

ඉන්දුනීසියානු දූපත්වලින් මෙරටට සංක්‍රමණය වූ මැලේ ජාතිකයෝ භාවිත කරන ඔවුන් ඇසුරෙන් අප හඳුනාගත් එසේම අපේ භාවිතයට හුරුකරගත් ඇතැම් ආහාර වර්ග නම් කිරීමේදී දීවිකාරද? ඕවා අපේ කෑම ජාතිනෙ" යනුවෙන් සැණෙකින් තිරසාර ලෙස ප්‍රතිචාර දැක්‌වීමට ඇතැම්හු පෙළඹෙති. නොඑසේ නම් "අනේ ඇත්තද? මෙච්චර දවස්‌ අපි හිතා හිටියේ ඕවා අපේම කෑම වර්ග කියලනෙ" යනුවෙන් පවසති. ජනතාවගේ එම ප්‍රතිචාරවලට හේතුකාරක වන්නේ එකී ආහාර වර්ග අපට බෙහෙවින් සමීප වීමයි. නොඑසේ නම් දීර්ඝ කාලීන භාවිතය හේතුවෙන් ඒවා අපේම ආහාර වර්ගසේ සැලකීමට හුරුවී සිටීමයි. එහෙයින් මැලේ ආහාර වර්ග පිළිබඳව සලකා බැලීමේදී ප්‍රථමයෙන්ම අපගේ අවධානය යොමුවිය යුත්තේ එසේ අපට බෙහෙවින් සමීප වී ඇති මැලේ ආහාර වර්ග පිළිබඳවය.

මෙහිදී මැලේවරු එකී ආහාර වර්ග පිස ගැනීම පිණිස යොදාගන්නා ක්‍රම සහ ඒවායේදී වැදගත් වන තොරතුරු පිළිබඳව ද අපගේ අවධානය යොමුවිය යුතු ය. ශ්‍රී ලංකාව ස්‌වකීය ජන්ම භූමිය කරගත් සිංහලයන්ට සහ දමිළ ජාතිකයන්ට පමණක්‌ නොව මෙරටට සංක්‍රමණය වූ මැලේ ජාතිකයන්ට ද ආවේණික, ප්‍රණීත, ජනප්‍රිය පාතරාසයා වන්නේ කිරිබතයි. ආදී යුගයේ පටන් වී ගොවිතැන තම ජීවනෝපාය කරගත් ලාංකිකයෝ බත් තම දිවා සහ රාත්‍රි ආහාරයට යොදාගත්තා සේ ම පාතරාසය පිණිස කිරිබතක්‌ පිස, ලුණු මිරිසක්‌ සමඟ අනුභව කිරීමට ද පුරුදු වූහ. ආදි ඉන්දුනීසියානුවෝ ද කෘෂිකර්මයෙන් ජීවත් වූ බැවින් වී ගොවිතැන මැලේවරුන්ගේ ද ජීවනෝපාය විය. ඒ අනුව කිරිබත ඔවුන්ගේ ද පාතරාසයක්‌ වීම අරුමයක්‌ නොවේ. කිරිබත සිංහලයන්ටත්, මැලේවරුන්ටත් එකසේ ආවේණික ආහාරයක්‌ වූයේ ඒ අයුරිනි.

මෙකී කිරිබත් පිසීමේදී සිංහල ජනතාව ඒ සඳහා යොදාගන්නා ද්‍රව්‍යවලට අමතර කුළුබඩු විශේෂයක්‌ ඊට එක්‌කර ගැනීමට පැරැණි මැලේවරු හුරුවී සිටියහ. කිරිබත පිසීමට සිංහල, මැලේ දෙපාර්ශ්වයම පොදුවේ යොදාගන්නා ද්‍රව්‍යවලට අමතරව එකී ද්‍රව්‍ය ප්‍රමාණයන්ට සරිලන සේ අඹරාගත් සුදුලූනු ප්‍රමාණයක්‌ ද ඊට මුසු කිරීමට මැලේවරු හුරුවී සිටියහ. ඒ අනුව මැලේවරු කිරිබතක්‌ පිසගැනීමේදී සාමාන්‍යයෙන් යොදාගන්නා සහල්, පොල්කිරි, ජලය, රම්පෙ, ලුණුවලට අමතරව සුදු ලූනු භාවිත කිරීම විශේෂත්වයකි. එමඟින් මැලේවරුන්ගේ කිරිබතෙහි රසයේ ද ගුණයේ ද කිසියම් වෙනසක්‌ දක්‌නට ලැබිණ. කෙසේ වෙතත් වත්මනෙහිදී ශ්‍රී ලාංකික මැලේවරු ද මෙරටෙහි සිංහල ජනතාව කිරිබත් පිසින ආකාරයෙන්ම ඊට සුදු ලූනු එක්‌කිරීමෙන් බැහැර වී කිරිබත් පිසීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබීම විශේෂත්වයකි.

මැලේ අච්චාරුව නම් වූ අරුමෝසම් ආහාරය එහි නමින්ම මැලේ ජාතිකයන්ගේ අනන්‍යතාව තහවුරු කරන ඔවුනට ආවේණික ආහාර වර්ගයකි. එසේම එය සිංහල ජනතාව අතර ද ඉතා ප්‍රකට, සිංහල නිවෙස්‌වල මුළුතැන්ගෙයි නිතර දක්‌නට ලැබෙන ජනප්‍රිය ආහාර විශේෂයකි. විවිධ උත්සව අවස්‌ථාවන්හිදී කෑම මේසවල මැලේ අච්චාරුව අනිවාර්යයෙන්ම දක්‌නට ලැබේ. 4 - 6 අතර පිරිසකට සරිලන මැලේ අච්චාරුවක්‌ සාදාගැනීම පිණිස භාවිත කෙරෙන ද්‍රව්‍ය පහත සඳහන් පරිදි වේ.

1. සිහින් කැබලිවලට කපාගත් ලොකු ලූණු (බොම්බයි ලූණු) ගෙඩි 04

2. පෙති කපාගත් කැරට්‌ අල 02

3. දික්‌ අතට හතරට පැලූ මාළුමිරිස්‌ කරල් 03

4. දෙකට පැලූ රටඉඳි කෝප්ප 1/2

5. පෙති ගැසූ අන්නාසි ටින් 01

6. සිහින් පතුරුවලට ලියන ලද ලුණු දෙහි ගෙඩි 02

7. කුඩා කැබලිවලට කැපූ මල්ගෝවා ග්‍රෑම් 100

8. දික්‌ අතට පැලූ අමුමිරිස්‌ කරල් 02

9. සුදු විනාකිරි බෝ. 1/2

10. ඇඹරූ ඉඟුරු සහ සුදු ලූණු මේස හැඳි 02

11. කුඩු කළ රටඉඳි කෝප්ප 1/2

12. මිරිස්‌ කුඩු මේස හැඳි 04

13. කුඩුකළ අබ ග්‍රෑම් 150

14. සීනි කෝප්ප 1/2 (පැණි රස අපේක්‌ෂා කරන්නේ නම් පමණක්‌)

15. කුරුඳු පොතු පතුරක්‌

16. ලුණු ස්‌වල්පයක්‌

17. රතු ලූණු කුඩා ප්‍රමාණයක්‌

විනාකිරි, අබ, මිරිස්‌ කුඩු, ඉඟුරු සහ සුදුලූනු, කුඩු කළ රටඉඳි, සීනි සහ ලුණු එකට මිශ්‍ර කරගන්න. රාත්‍රියක්‌ පුරා එසේ තැබූ එම මිශ්‍රණයට පාවිච්චියට ගැනීමට පෙර ඉතිරි ද්‍රව්‍ය සහ එළවළු එකතු කරගන්න. අච්චාරුවට එළවළු මිශ්‍ර කළ යුත්තේ එහි ප්‍රණීත සාරය ඒ හා හොඳින් මුසුවන අයුරිනි. 'අච්චාරු' යන්න මැලේ භාෂාවෙන් බිඳී අපගේ ව්‍යවහාරයට එක්‌වූ වදනකි. ඉහත අයුරින් සකස්‌ කරගත් මැලේ අච්චාරුව එදිනෙදා අපගේ ආහාර වේල රසවත් කරගැනීමට මෙන්ම උත්සව අවස්‌ථාවක හෝ විශේෂ ආරාධිතයන් හට ආහාරවේලක්‌ ලබාදෙන අවස්‌ථාවක බොහෝ විට කෑම මේසය සරසන ආහාර වර්ගයකි.

'නාසිගෝරෙං' (භ්sස ඨදරුබට) මැලේ ජාතිකයන්ගෙන් දායාද ලෙස ලැබූ අප අතර බෙහෙවින් ප්‍රචලිත ආහාරයකි. මෙම නාමය නගරයේ කුඩා හෝටල්වල කෑම වර්ග දැක්‌වෙන දැන්වීම් පුවරුවල සඳහන් වනු දක්‌නට ලැබේ. එහෙත් ඒවායේ අය නම් කර ඇත්තේ 'නාසිගුරාන්' යනුවෙන් ඉඳුරා සාවද්‍ය ආකාරයකිනි. 'නාසි - බත් හා ගෝරෙං - බදින ලද' යන අරුත් එක්‌වීමෙන් බදින ලද බත් 'නාසිගෝරෙං' යනුවෙන් හැඳින්වේ. එය නිවැරැදිව අරුත්ගැන්වෙන්නේ එසේ ය. මැලේවරුන් අතර ඉතා ජනප්‍රිය අහරක්‌ වන නාසිගෝරෙං දෙදෙනකුට සරිලන සේ පිසගැනීම පිණිස පාවිච්චි කරන ද්‍රව්‍ය පහත දැක්‌වේ.

1. පිසින ලද බත් කෝප්ප 04 ක්‌

2. හීනි පෙතිවලට කපාගත් මධ්‍යම ප්‍රමාණයේ ලොකු ලූනු ගෙඩි 01 ක්‌.

3. කැබලි කළ කරාබුනැටි සහ සුදුලූනු ස්‌වලපයක්‌

4. මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 02 ක්‌.

5. කූණිස්‌සන් තලප හෝ ඉස්‌සන්ගේ පොතු සහ ඔළුවලින් සකසාගත් සම්බෝලයෙන් (ඊeක්‌ජය්බ) තේ හැඳි 01 ක්‌.

6. මිරිස්‌ කුඩු තේ හැඳි 01 ක්‌.

7. සෝයා සෝස්‌ මේස හැඳි 01 ක්‌.

8. පොල්තෙල් මේස හැඳි 03 ක්‌.

9. ලුණු ස්‌වල්පයක්‌

10. ආහාර දීසිය සැරසීමට, පෙති ගැසූ පිපිඤ්Æ සහ තක්‌කාලි සරිලන ප්‍රමාණයක්‌.

11. පිසූ ඉස්‌සන් කීපදෙනෙක්‌ (විකල්පයක්‌ ලෙස)

පිසින ලද බත්වලට, ලූනු පෙති සහ සෙසු ද්‍රව්‍ය මුසුකොට ගිතෙල් හෝ බටර් ස්‌වල්පයක්‌ දමා පිසින නාසිගෝරෙං ආහාරය පිපිඤ්Æ, තක්‌කාලි තම්බන ලද බිත්තර සහ ඉස්‌සන්ගෙන් සරසාගත් කළ එය ප්‍රණීත සේම ඉතා අලංකාර ආහාරයක්‌ වේ.

වටලප්පන් ලාංකික මැලේවරු සේම සිංහල ජනතාව ද එහි ගැබ්වී ඇති ප්‍රණීත රසය හේතුවෙන් ඉතා ආශාවෙන් අනුභව කරන ජනප්‍රිය අතුරුපසකි. එය මැලේවරුන් විසින් අපට දායද කරන ලද ඔවුනට ආවේණික ප්‍රධාන අතුරුපසකි. 'සිර්කායා' යනුවෙන් මැලේ බසින් හැඳින්වෙන 'වටලප්පන්' යනුවෙන් අප දන්නා මෙම අතුරුපස වර්ගය 4 - 6 අතර පිරිසකට සරිලන සේ සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහත සඳහන් වේ.

1. බිත්තර 12 ක්‌.

2. කුඩුකරන ලද පිරිසිදු හකුරු කෝප්ප 02 ක්‌ හෝ පිරිසිදු කිතුල් පැණි බෝතල් 1/2 ක්‌.

3. පොල්කිරි කෝප්ප 01 ක්‌.

4. සාදික්‌කා කුඩු තේ හැඳි 1/4 ක්‌.

5. බැද කුඩුකරන ලද කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳු ස්‌වල්පය බැගින්.

6. වැනිලා තේ හැඳි 1 1/2 ක්‌.

සුදුසු බඳුනකට බිත්තර සුදුමද වෙන්කොට දමා මෘදු ලෙස හොඳින් ගසාගන්න. බිත්තර කහමද, හකුරු, පොල්කිරි එක්‌කොට බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න. එම මිශ්‍රණයට බිත්තර සුදුමද සාරය එක්‌කොට, කුළුබඩු වර්ග ද දමා හොඳින් මිශ්‍රකොට සුළු වේලාවක්‌ තබන්න. අනතුරුව ඊට වැනිලා ප්‍රමාණය ද එක්‌කරන්න. මෙකී මිශ්‍රණයෙන් සුසැදි පුඩිම ළිපේ තබා විනාඩි 45 ක්‌ පමණ තම්බාගන්න. එය නිවෙන්නට තබා පදමට සැකසුනු පුඩිම සුදුසු පිහියකින් තීරුවලට සලකුණු කරගන්න. මෙය විශේෂයෙන්ම ඉස්‌ලාම් භක්‌තිකයන් විසින් ඔවුන්ගේ ආගමික උත්සව අවස්‌ථාවන්හිදී අනිවාර්යයෙන්ම භාවිත කරන ප්‍රණීත ඉතා ජනප්‍රිය අතුරුපස වර්ගයකි. පසුගියදා පැවැත්වුණු වාර්ෂික රාමසාන් උත්සව අවස්‌ථාවේදී ද මැලේවරුන්ගේ ආහාර මේස සැරසූ ප්‍රධාන අතුරුපස වූයේ 'සිර්කායා' හෙවත් වටලප්පන් ය.

එඩ්වඩ් චන්ද්‍රසිරි