පුංචි ඡන්දය වසර අග සියලු පක්‌ෂ එකඟයි

කඩිනමින් මැතිවරණය පවත්වා මෙම වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සක්‍රිය කිරීමට ආණ්‌ඩු පක්‍ෂයද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‌ෂ එකඟතාවකට පැමිණ ඇත.

පාර්ලිමේන්තු සංකිSර්ණයේ පසුගිය බ්‍රහස්‌පතින්දා පැවැති සාකච්ඡාවේදී මෙම එකඟත්වයට පැමිණ ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්‌ෂ නායක ආර්. සම්පන්දන්, ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජනතා විමුක්‌ති පෙරමුණේ බිමල් රත්නායක යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුද සාකච්ඡාවට එක්‌ව ඇත.

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇති අතර අනෙකුත් බාධාවන් හඳුනා ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්‌ ද පත්කර තිබේ.

එම කමිටුවට එජාපයෙන් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා, එජනිස නියෝජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න හා ජවිපෙ බිමල් රත්නායක යන මහත්වරුන්ද පත්කර ඇත.

මේ අතර මෙම වසර අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් ලබන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‌ෂ නායකයන් වෙත දැනුම් දී ඇත.