ස්‌වාමියාගේ සොහොන ළඟ සුනඛයා සති දෙකක්‌ හාමතේ

බඹරුන් පහර දෙද්දී මියගිය සිය ස්‌වාමියා අතහැර නොගිය සුනඛයා සති දෙකකට ආසන්න කාලයක්‌ සොහොන ළඟ රැඳී සිටියදී කොළඹ සිට ගම්පොළ පුපුරැස්‌ස ප්‍රදේශයට පැමිණි සුනඛ ආරක්‌ෂක සංගමයේ සාමාජිකයන් විසින් එම සුනඛයාගේ සුබසිද්ධිය වෙනුවෙන් කොළඹට රැගෙන එන ලදී.

ගම්පොළ පුපුරැස්‌ස ලෙවලන්වත්ත මානිකට්‌ටුව ප්‍රදේශයේ මියගිය 79 හැවිරිදි අයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමග බඹර ප්‍රහාරයක්‌ එල්ල වීම නිසා දේහය සහිත පෙට්‌ටිය බිම දමා බඹරුන්ගෙන් බේරීම සඳහා අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පිරිස සීසී කඩ දිව ගිය ද මෙම සුනඛයා එම දෙන සහිත පෙට්‌ටිය තනි නොකර බඹර ප්‍රහාර එල්ල වෙත්දීත් පිරිස යළි පැමිණෙන තුරු පැය 2 ක්‌ පමණ එහිම රැඳී දේහයට රැකවරණය ලබා දී තිබේ.

ඇඳිරි වැටී ගෙන එන විට පන්දම් දල්වා ගෙන පැමිණි පිරිස දෙන මිහිදන් කොට ආපසු ගියේ මෙම බල්ලාගේ ගුණ ගැන ද කතා කරමිනි.

මෙම බඹර ප්‍රහාරයට ලක්‌ වූ 8 දෙනෙකු රෝහල් ගත කොට තිබිණි.

මෙම පුවත මාධ්‍ය මගින් අප හෙළිකළේ කලෙහිගුණ සහිත මෙම බල්ලා යළි නිවසට නොගොස්‌ මිනී වළ අසලම රැඳී සිටින බවද හෙළි කරමිනි.

එම පුවත දුටු සත්වාරක්‌ෂක සංගමයේ රුවන් ඩග්ලස්‌ හා ගිහාන් වෙනුෂ්ක තොරතුරු විමසා කොළඹින් වාහනයක්‌ද රැගෙන අප සමග කිලෝ මීටර් 160 ක්‌ පමණ දුර ගෙවා එම බල්ලා සිටි පුපුරැස්‌ස මානිකට්‌ටුව ප්‍රදේශයට ගියේ සුනඛයාට අවශ්‍ය ආහාරද රැගෙනය.

ඒ වන විට එම ප්‍රදේශයේ පදිංචි රවි නමැති තරුණයා මෙම බල්ලා ගැන සොයාබලා අප හට ලබාදුන් තොරතුරු අනුව ඔහුද සමඟ සොහොන වෙත ගොස්‌ සොහොනේ වළ උඩ රැඳී සිටි බල්ලා දැක ගත්තෙමු.

මෙම සුනඛයාගේ කතාවද තරමක්‌ වෙනස්‌ය. මනිකට්‌ටුව පේළී නිවාසයක හැදී වැඩී ඇති බල්ලාට ලොම් හැලෙන රෝගය වැළඳී ඇඟේ තුවාල දමා ඇති අතර මේ නිසා මිනිසුන්ගේ සැලකිල්ලද අඩු වී ඇත.

මෙයින් අසරණ වූ සතා මහලු වියට පත් ව සිටි එම පේළී නිවාසයේ සිටි මාරිමුත්තු සමඟ හිතවත් වී ඇත.

පේළී නිවාසවල අය කම්කරුවන් ලෙස වත්තේ වැඩට යද්දී තනිවන මාරිමුත්තු හා ජිමී නමැති මෙම බල්ලා බොහෝ කාලයක්‌ එකට ගත කොට ඇත.

පසුගියදා මාරිමුත්තු මෙසේ මිය යැමත් සමඟ ජිමීද ඔහු අත නොහැර ඔහුගේ සොහොන උඩ මෙසේ දවස ගත කොට තිබේ.

පුවත්පත් මගින් අප මෙය වාර්තා කිරීම සමාජයේ දැඩි කතා බහට ලක්‌වූ අතර ඒ සමඟ මෙම සත්වාරක්‌ෂ සංගමය හා සත්ව සුබසාධක සංගමය මේ සඳහා ඉදිරිපත් වී මෙම සතා බේරා ගැනීම සඳහා කටයුතු කොට ඇත.

ඒ අනුව ජිමී කොළඹට රැගෙන යැමට පෙර ඌ ජීවත් වූ පේලී නිවාසවලටද එම සතා රැගෙන ගියේ රවි හා මිල්ලගහමුල ගුණරත්න යන අයගේ සහාය ඇතිවය.

එහිදී පේලී නිවාසවල අය රැස්‌වී ජීමීට සමුදුන්නේ මෙම සතාගේ කෙලෙහිගුණ පිළිබඳ අවබෝධ වීමෙනි.

රුවන් ඩග්ලස්‌ හා ගිහාන් වෙනුෂ්ක එක්‌ව සතා කොළඹට රැගෙන පසු ඌට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඇරඹූ අතර බඹර විෂ සඳහාද ප්‍රතිකාර ආරම්භ කොට ඇත. දැනට මෙම සතා රුවන් ඩග්ලස්‌ මහතා භාරයේ කොළඹ ගල්කිස්‌ස ප්‍රදේශයේ ජීවත් වේ.