රටවල් හයක්‌ කටාර් අත්හරී

අයි එස්‌ ත්‍රස්‌තවාදී සංවිධානය හා ඔවුන්ගේ යෝජිත ඉස්‌ලාමීය රාජ්‍යය සඳහා උදව් උපකාර ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දැමීමට ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05 දා) තීරණය කළේය.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිති.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයෝ එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිති.

සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව මෙලෙස කටාර් රාජ්‍යය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවනු ලැබූ රටවල්ය.

මෙසේ කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන අතර සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇත.

ඒ සමාගම එටිහාඩ් ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කර ඇත.

සවුදි අරාබියේ රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය වන එස්‌පීඒ ආයතනයට අනුව මෙසේ රටවල් හයක්‌ කටාර් රාජ්‍යය සමග පවතින සබඳතා අත්හැර ඇත්තේ ත්‍රස්‌තවාදයෙන් හා අන්තවාදයෙන් ජාතික ආරක්‍ෂාව රැක ගැනීමටය. එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව පැය 48 ක්‌ තුළ තම රටින් ඉවත්ව යන ලෙස කටාර් රාජ්‍යයේ තනාපති නිලධාරීන් වෙත දන්වා තිබේ. එසේම එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වාසය කරන සියලුම කටාර් වැසියන්ට දින 14 ක්‌ තුළ එරටින් පිටව යන ලෙසද දන්වා ඇත.

තම රටවල සිටින සියලුම කටාර් වැසියන් හා නේවාසිකයන්ද සති තුනක්‌ ඇතුළත දී පිටව යා යුතු බව සවුදි අරාබිය හා බහරේනය දැනටමත් නිවේදනය කර තිබේ.

මේ අතර රටවල් හයක්‌ තම රට සමඟ පවතින සබඳතා අත්හැරීම පිළිබඳව කරුණු දක්‌වා ඇති කටාර් රාජ්‍යය මෙම තීරණය අයුක්‌තිසහගත හා කිසිදු පදනමක්‌ නොමැති තීරණයක්‌ බව ප්‍රකාශ කර ඇත.

කටාර් රාජ්‍යයේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය හා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගෙන් "දිවයින" විමසූ විට 'කටාර් රාජ්‍යයේ මතුව තිබෙන තත්ත්වය එරට අභ්‍යන්තර ප්‍රශ්නයක්‌. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‍ෂ විසිපන් දහසක්‌ වාසය කරනවා. මේ තත්ත්වය නිසා ඔවුන්ට බලපෑමක්‌ නැහැ' යෑයි පැවැසීය.