Loading...

සේවා වියුක්‌තිය ඉහළ යයි

නිෂ්පාදන ක්‍රියාවලියේ මූලිකම සාධකය වන්නේ ශ්‍රමයයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී ශ්‍රමයට ඉල්ලුමක්‌ ඇති වන අතර ශ්‍රමිකයා විසින් ශ්‍රමය සපයනු ඇත. සෑම රටකම ඉලක්‌කය වන්නේ රට පූර්ණ සේවා නියුක්‌ති මට්‌ටමට ළඟාකර ගැනීමය. රටෙහි ශ්‍රම බළකායට රැකියා උත්පාදනය නොවේ නම් එරට ආර්ථික ගැටලු රාශිsයකට මුහුණ දෙනු ඇත.

2016 වාර්ෂික වාර්තාව අනුව රටෙහි ශ්‍රම බළකාය 8,311,000 කි. එයින් රැකියාවල යෙදී ඇති ප්‍රමාණය 7,948,000 කි. එහෙත්, 2015 මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව ශ්‍රම බළකාය 8,973,000 කි. එයින් රැකියාවල නියුතු ප්‍රමාණය 8,554,000 කි.

එම රැකියාවන් රටේ මූලික අංශ වෙත බෙදී තිබුණේ මෙසේය.
මෙම සංඛ්‍යා සටහන් අනුව 2016 දී කෘෂිකර්ම අංශයේ රැකියා 355,000 ක්‌ ද, කාර්මික අංශයේ රැකියා 170,000 ක්‌ ද සේවා අංශයේ රැකියා 234,000 ක්‌ ද අඩු වී ඇත. ඒ අනුව අහිමි වූ මුළු රැකියා ප්‍රමාණය 759,000 කි. මෙහිදී 2016 වර්ෂයේ සේවා වියුක්‌තිය ලෙස සඳහන් වන්නේ සියයට 4.4 කි. එහෙත් මෙය නිවැරදි නොවන්නේ 2016 දී 2015 වර්ෂයේ සේවා නියුක්‌තිය සම්බන්ධව ප්‍රසිද්ධ කළ අතාත්වික සංඛ්‍යා නිසාය. ඒ අනුව 2016 මහ බැංකු වාර්තාව අනුව 2015 ශ්‍රම බළකාය 8,973,300 ක්‌ නොව 8,214,000 කි. මෙවැනි අඩුවීමට කිසිදු හේතුවක්‌ සඳහන් කිරීමට මහ බැංකු වාර්තාව අපොහොසත් වේ. මෙලෙස සේවා නියුක්‌තිය අඩුවීමට නම් රටේ ශ්‍රම බළකායෙන් විශාල ප්‍රමාණයක්‌ විශ්‍රාම ගත යුතුය. නැතහොත් රට හැර යා යුතුය. එසේද නැත්නම් ස්‌වාභාවික අනතුරකින් විනාශ විය යුතුය. එසේද නොවේ නම් ආර්ථික අර්බුදය නිසා සේවා අහිමි වී යා යුතුය. ජනගහනය අඩුවීමක්‌ 2016 වර්ෂයේදී සිදු නොවූ බව එම වර්ෂයේ මහ බැංකු වාර්තාව පැහැදිලි කර ඇත. එම වාර්තාව අනුව රටේ ජනගහනය සියයට 0.094 කින් වැඩි වී ඇත. රට තුළ කිසිදු ස්‌වාභාවික ආපදාවක්‌ 2016 දී සිදු නොවීය. එසේ නම් සිදුවිය හැකි එකම දෙය වන්නේ ආර්ථික අර්බුදය නිසා රැකියා 759,000 ක්‌ අහිමිවීම පමණි.

මෙම රැකියා අහිමිවීමට අමතරව 2016 දී විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයද සැලකිය යුතු ලෙස අඩුවී ඇත. 2014 දී 300,703 ක්‌ වූ විදේශ රැකියා ප්‍රමාණය 2016 දී 240,930 කි. එනම් 57,773 කින් විදේශ රැකියා ප්‍රමාණයක්‌ අහිමි වී ඇත. මේ අනුව සිදුවිය යුත්තේ රටේ සේවා වියුක්‌තිය ඉහළ යාමය. මෙවැනි පසුබිමක 2016 මහ බැංකු වාර්තා කළ පරිදි සේවා වියුක්‌තිය 4.4 කි. 2015 මහ බැංකු වාර්තාව අනුව රටේ කුටුම්භ ජනගහනය 16,532,000 කි. ඒ පදනම මත ජනගහන වර්ධන වේගය වූ සියයට 0.094 ක්‌ නම් 2016 කුටුම්භ ජනගහනය 16,828,000 ක්‌ විය යුතුය. 2015 සහ 2016 වර්ෂ දෙකෙහිම ශ්‍රම බළකාය සහභාගිත්වය සියයට 53.8 ක්‌ බව මහ බැංකු වාර්තාව හෙළි කරයි.

මහ බැංකුවේ මෙම දත්ත අනුව 2015 දී 8,973,000 ක්‌ ශ්‍රම බළකාය 2016 වන විට 9,053,000 ක්‌ විsය යුතුය. 2016 මහ බැංකු වාර්තාව අනුව සේවා නියුක්‌තිය 7,948,000 කි. එසේ නම් 2016 දී සේවා වියුක්‌තිය 1,105,000 කි. එය රටේ වැඩකළ හැකි ශ්‍රම බළකායෙන් සියයට 12.2 කි. මේ අනුව රටේ සැබෑ සේවා වියුක්‌තිය සියයට 4.4 ක්‌ නොව සියයට 12.2 ක්‌ බව මහ බැංකු වාර්තාව රටට හෙළි නොකළ රහසක්‌ ලෙස තබාගෙන ඇත.

පසුගිය වසර දෙක තුළ රටේ කාර්මික සාමය ශීඝ්‍රයෙන් පිරිහුනු බව පැවැති වැඩ වර්ජන වලින් පෙනී යයි. පෞද්ගලික අංශයේ පමණක්‌ වැඩ වර්ජන නිසා 2015 දී අහිමි වූ මිනිස්‌ දින ගණන 82,294 ක්‌ වූ අතර, 2016 ද එය 104,327 දක්‌වා ඉහළ ගියේය. එහෙත් 2014 වැඩවර්ජන නිසා රටට අහිමි වූ මිනිස්‌ දින ගණන වූයේ 37,323 ක්‌ පමණි. මෙහිදී පෙනී යන්නේ 2014 ට සාපේක්‌ෂව 2016 දී වැඩවර්ජන නිසා අහිමි වූ මිනිස්‌ දින ගණන සියයට 280 කින් වැඩි වී ඇති බවයි.

කරුණු සළකා බැලීමේදී නිගමනය කළ යුතු වන්නේ රටේ ශ්‍රම ඵලදායිතාවය 2014 වර්ෂයට වඩා බෙහෙවින් 2016 වර්ෂය වන විට පිරිහීමකට ලක්‌ වී ඇති බවයි. එය රට තුළ සැඟවූ සේවා වියුක්‌තිය සහ නොසැඟවූ සේවක අරගල වලින් මනාව පැහැදිලිය.
Related Posts Plugin for WordPress, Blogger...