අනුර සේනානායක වසරකට පසු ගෙදර යයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිට මහාධිකරණයෙන් ඇප නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායකගේ ඇපකරුවන් පිළිගත් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා ඔහු ඊයේ (05 දා) ඇප මත මුදාහරිනු ලැබුවේය.

සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය කියවා දීමෙන් පසු ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ පුත් අනුරුද්ධ සේනානායක, සොහොයුරු උපාලි සේනානායක හා තවත් ඥතියකු පිළිගත් මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණ භාරයට පත් කළ සැකකරුගේ විදෙස්‌ ගමන් බලපත්‍රය සුරක්‌ෂිතව තබන ලෙසට ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්‌ෂ 10 ක මුදල් ඇපයක්‌ හා රුපියල් ලක්‌ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක්‌ නියම කර ඇති බව දන්වා සිටි මහෙස්‌ත්‍රාත්වරයා එක්‌ ඇපකරුවකු ළඟම ඥතියකු විය යුතු බවත් විදෙස්‌ ගමන් තහනම් කර ඇති බැවින් විදෙස්‌ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට පත් කරන ලෙසත් නියෝග කළේය.

සැකකරුගේ විදෙස්‌ ගමන් තහනම ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසද ඇප තැබීමෙන් පසු සෑම ඉරු දිනකම උදේ 9 ත් මධ්‍යාහ්න 12 ත් අතර කාලයේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට කිසිදු බාධාවක්‌ සිදුනොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ ලැබුණහොත් ඇප නියමය අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්‌ෂිත බන්ධනාගාර ගත කරන බවට දන්වා සිටියේය.

සැකකාර අනුර සේනානායක මහතා ඊයේ පස්‌වරු 3.00 ට පමණ අධිකරණ භූමියෙන් පිටත යන අවස්‌ථාවේදී සියලූම මාධ්‍යවලට සිය ස්‌තුතිය පළකිරීමට ද අමතක නොකළේය.