අලාභවූ දේපළවලට ඉන්දියානු රජයෙන් වන්දි

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණි MI - 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩබැස්‌සවීමේදී හා ඊට පෙර පුහුණුවීම් කටයුතුවල යෙදීමේදී හැටන් - ඩන්බාර් ක්‍රීඩාංගණය අසළ පිහිටි සමනලගම ප්‍රදේශයේ නිවාස 10 කට හානි වූ අතර, ඒ සඳහා පැමිණිළි 10ක්‌ හැටන් පොලිසියට ලැබී ඇති බව හැටන් මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අලාභ වූ හානිය සම්බන්ධයෙන් තක්‌සේරු වාර්තාවක්‌ කැඳවා ඒ සඳහා වන්දි මුදලක්‌ ගෙවීම සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස්‌ කාර්යාලය අවධානය යොමු කර ඇති බව හැටන් මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා පැවසීය.

මෙම සිද්ධියෙන් කාන්තාවක්‌ තුවාල ලබා දික්‌ඔය මූලික රෝහලට ප්‍රතිකාර සඳහා පසුගියදා ඇතුළත් කොට තිබුණි.