ඥානසාර හිමිට එරෙහි නඩුවට දින නියම කිරීම 24 දා

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාගවෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා දින නියම කිරීම මෙම මැයි මස 24 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය ඊයේ (16) තීරණය කෙළේය. නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතු වලට බාධාවන අයුරින් කටයුතු කිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර තිබේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස දින නියම කෙළේය.

හෝමාගම ම‍හේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයෙන් කළ කරුණු විමසීමකට අනුව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එච්.සී.ජේ. මඩවල සහ ප්‍රීති පද්මන් සූරසේන යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී එක්නැලිගොඩ මහතාගේ නඩුව විභාගවෙමින් තිබියදී එම අධිකරණ ශාලාවේදී ශබ්ද නඟා කතාකරමින් කලහකාරී ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැසිරුණු බවට සඳහන් විය.

එමඟින් අධිකරණයේ ආධිපත්‍යයට ගරුත්වයට අභියෝග කිරීමත් අවමන් කිරීමත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වරදක් කර ඇතිදැයි සොයා බලන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම කරුණු විමසීම මීට පෙර සලකා බැලූ අභියාචනාධිකරණය කළ දැනුම්දීම අනුව නීතිපතිවරයා විසින් චෝදනා හතරකින් සමන්විත චෝදනා පත්‍රයක් සකස් කර ඉදිරිපත් කරන ලදී. පසුව එම චෝදනා පත්‍රය සංශෝධනයට ලක් කරන ලදී.

අදාළ චෝදනාවන්ට තමා නිවැරැදිකරු බවට අධිකරණයේ පෙනී සිටි ඥානසාර හිමියන් සිය නීතිඥවරයා විසින් ප්‍රකාශ කළ අතර ඒ අනුව එම චෝදනා පත්‍රය සම්බන්ධ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කෙළේය.

ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.