වැඩිම සෙනඟ මහින්දගේ රැළියට

අද (01) පැවැති මැයිදින රැළිවලින් වැඩිම සෙනඟක් ගොනුව ඇත්තේ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය ගාලු මුවදොර පිටියේ පැවැත්වූ රැළියට බව බුද්ධි අංශ වාර්තා අනුව හෙළිව ඇතැයි වාර්තා වේ.

එම වාර්තාවලට අනුව එම රැළිය පැවැති ගාලු මුවදොර පිටියට අවම වශයෙන් ලක්ෂයක් හෝ උපරිමවශයෙන් එක්ලක්ෂ දසදහසක පිරිසක් ගොනුව ඇති බව විශ්වාස කෙරේ.



ඊට පසුව වැඩිම සෙනඟක් එක්වූ ජන රැළිය සේ එජාපය කැම්බල් පිටියේ පැවැත්වූ ජනරැළිය සැලැකේ. ඊට එක්වූ පිරිස 65,000කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට 58,000 ක ප්‍රමාණයක් එක්ව ඇතැයි ආරක්ෂක අංශ වාර්තා අනුව හෙළිව ඇති බව පැවසේ.

ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මැයි රැළියට 24,000කට ආසන්න පිරිසක්ද, පෙරටුගාමී පක්ෂයේ ජන රැළියට දහසක් පමණත් දෙමළ ජාතික සංධානයේ මැයි රැළියට 1,500කට ආසන්න පිරිසක්ද එක්ව ඇති බවට විශ්වාස කෙරේ.

කෙසේවුවද, මේ ගණනය කිරීමේදී ආරක්ෂක අංශ වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ අද දිනයේ පැවැති එජාප හා ශ්‍රීලනිප ජනගොමු ගණනය කිරීමට බව පැවසේ.

ඒ අදාළ පක්ෂවල පිරිස් එම පක්ෂවල රැළිවලට සම්බන්ධ වුවද ඔවුන්ගේ ප්‍රධාන රැළිය පැවැත්වෙන ක්‍රීඩාංගන වෙත නොයාම නිසාය.

ජනපතිවරයාගේ රැළියට එක්වූ බොහෝ පිරිසක් දළදා මාලිගාව හා පෙරාදෙනිය මල්වත්තෙ සිටි බවද ආරක්ෂක වාර්තා අනුව හෙළිව තිබේ.

එම රැළියට පැති දෙකකින් පාගමනින් පැමිණි පිරිස් පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා පමණ පැමිණි බවද පැවසේ.එසේම ජනපතිවරයාගේ කථාවේදී මේ ශ්‍රීලනිප රැළියකට පැමිණි ජන ඟග ලෙසද හුවාදක්වනු ලැබීය.

ආරක්ෂක සෙනඟ ගනින්නේ මෙහෙමයි

ආරක්ෂක අංශ විසින් සෙනඟ ගණනය කරනු ලබන්නේ මුලින්ම එක් එක් පොලිස් ස්ථාන එම පොලිස් බල ප්‍රදේශයෙන් එක් එක් රැළිවලට එක්වන බස් රථ ගණන ගණනය කර එවනු ලබයි.

ඉන් පසුව තවත් කණ්ඩායමක් අදාළ ප්‍රදෙශයේ සියලුම බස් ගමන්ගත යුතු එක් ස්ථානයක සිට ගණනය කිරීමක් සිදුකරනු ලබයි.

එසේම, තවත් කණ්ඩායමක් බත් පාර්සල් ඇනවුම් කරන ලද ප්‍රමාණයන් ගණනය කිරීම මගින් මේ ගණනය කිරීම සිදුකරන බව පැවසේ.

අවසන් වශයෙන් අදාළ භූමියේ සිතියම් අනුව ගණනය කිරීමක්ද සිදුකර අවසන් නිගමනයන්වලට එළඹේ.