යහපාලන ආණ්‌ඩුව ඡන්දයට බයයි

වැඩකරන ජනතාවගේ සියලු අයිතීන් කප්පාදු කරමින් සිටින යහපාලන ආණ්‌ඩුව ඡන්දය තැබීමට බියවී ඇති බවත්, ඡන්දයක්‌ තැබුවොත් ආණ්‌ඩුවේ පරාජය සිකුරු බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සමෘද්ධි හා ගොවිජන අයිතීන් සුරකින පොදුජන අපේක්‍ෂා ඉටුවන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්‌ ශ්‍රී ලංකාවක්‌ සඳහා බලකරන සමෘද්ධි කෘෂි ඒකාබද්ධ මැයි රැලිය අමතමින් ඒ මහතා එසේ කීය.

මෙම මැයි රැලිය ඊයේ (01 වැනිදා) තලංගම සමෘද්ධි උත්සව ශාලාවේදී පැවැති අතර එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

මේ ජන බලයේ දැවැන්ත බව නිසා ආණ්‌ඩුව බයවෙලයි ඉන්නේ. ඡන්දයක්‌ ළඟ තියන්න ආණ්‌ඩුව බයයි. මොකද තිබ්බොත් මොවුන්ගේ සැබෑව හෙළි වෙන නිසා. අද මේ රටම දුක්‌විඳිනවා. අවුල් ජාලාවකට ප්‍රාදේශීය සභාවෙන් සභාවට අද පත්වෙලා.

දැන් මෙහේ ඉන්නවා රූපවාහිනියට ඇවිත් අපිට අභියෝග කරන නායකයෙක්‌. හිටපු නගරාධිපති ඇයි එයාට කියන්න බැරි ඡන්දය තියන්න කියලා. එයාට ජනාධිපති ඉන්නවා නම් එයාට අගමැති ඉන්නවා නම් ඡන්දය තියන්න කියලා කියන්න බැරි ඇයි? කොහොමත් දැන් නම් මේ යහපාලන ආණ්‌ඩුවට වැඩි ආයුෂ නැහැ.

සමස්‌ත ලංකා සමෘද්ධි හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා,

මේ රටේ පීඩිත පන්තියේ සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය සේවයට සම්බන්ධ සමෘද්ධි කෘෂි නිලධාරීන් මේ සියලු දෙනා එක පැත්තකින් ගොවියා නිසයි අපි බත් කන්නේ අපි ජීවත් වෙන්නේ. ඒ වගේම අනෙක්‌ පැත්තෙන් මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය හරහා තමයි අපේ ශක්‌තිය අපේ අනාගතය සුරක්‍ෂිත කරමින් තිබෙන්නේ.

මේ රටේ දශක තුනක කාලයක්‌ ත්‍රස්‌තවාදය තිබුණා. ලේ ගංගා ගලා ගියා. ජීවිත අවදානමක්‌ තිබුණු අවස්‌ථාවක එදා 2005 වර්ෂයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රට භාරගන්නකොට මේක එක්‌ පැත්තකින් විශාලා මහනුවරක්‌ වගේ.

එදා ලෝකයේ හැම රාජ්‍යයකටම තර්ජනයක්‌ වුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරපු ලෝක නායකයෙක්‌ ඉන්නවා නම් ඒ එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහත්මයා. එතුමා යුද්ධය අවසන් කළා.

කොන්ද කෙළින් තියාගෙන අනාගතයක්‌ හදාගන්න කියලා තමයි මේ රටේ සමහර අය මේ යමපාලන ආණ්‌ඩුව පත්කර ගත්තේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. දැන් සනීපද කියලා තමයි රටවැසියන්ගෙන් අහන්න තියෙන්නේ.