16 වියැති සිසුවිය දරුවෙකු ප්‍රසූත කරළා

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත්වූ 16 වියැති පාසල් සිසුවියක් පසුගියදා පිරිමි දරුවෙකු ප්‍රසූත කළ බව රෝහල් ආරංචි පවසයි.

එම සිසුවිය අපයෝජනය කළ බව කියන පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය පොලීසිය මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, ඇයගේ මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වූ විජයලත් විදුරගේ සම්පත් සෝමවීර (අවු.35) නමැත්තෙකි.

සිසුවිය දරුවා බිහිකරනතුරු ඇය ගැබිනියක බව නොදැන සිටිබව සිසුවියගේ මවුපියන් පොලීසියට පවසා ඇත.

සිසුවියගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම දරුවාගේ පියා මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයා (බාප්පා) බවයි.

පවුලේ වැඩිමල් දියණිය වන මෙම සිසුවියට බාල සෙහොයුරෙකු සිටියි. ඇගේ මවුපියන් කුලී රැකියා කරමින් ජීවත් වන අතර, ඔවුන් රැකියාවට ගියපසු නිවසට පැමිණි බාප්පාගේ බලකිරීම මත පසුගිය 2016 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා විටින් විට අපයෝජනය ලක්වූ බව දැරිය පොලීසියට පවසා තිබේ.

දරුවා කුස දරාගෙන පාසල් ගොස් පසුගිය 2016 වර්ෂයේ සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වූ ඇය විෂයන් නවයම සමත්වී එයින් විෂයන් හතරකට සම්මානද ලබා ඇත.

පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගොස් ඇති ඇය කිසිදු මාතෘ සායනයකට සහභාගිවී නොමැත. දරුවා සහ මව ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ප්‍රසව හා නාරිවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය බිම්සර පෙරේරා මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.