කුසල් T20 පිතිකරු ශ්‍රේණියේ 48 වැනි තැනට

හය මසකට පසුව විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා එහිදී සිය දෙවැනි ඉහළම විස්‌සයි විස්‌ස ලකුණු සංඛ්‍යාව බංග්ලාදේශයට එරෙහිව පෙරේදා (04 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වාර්තා කිරීමට සමත් විය. අදාළ දක්‍ෂතාවට හේතුව තමාගේ අඩුපාඩු තමා විසින්ම නිවැරදි කරගැනීම බවද කුසල් ජනිත් පවසයි.

''ඇත්තටම මම දේශීය තුන්දින තරගාවලියේදී අසාර්ථක වුණා. ඊට පස්‌සෙ මගේ තිබුණ පොඩි පොඩි අඩුපාඩු ටික මම පුහුණුවීම් කරල මගහරවා ගත්තා. මම විසින්ම තමයි මගේ අඩුපාඩු හදා ගත්තේ.
පස්‌සෙ එක්‌දින තරගවලට මම හොඳින් ලෑස්‌ති වෙලා ඉන්න කොට ආබාධයකට ලක්‌වුණා. නමුත් දැන් මම සියයට සියයක්‌ හොඳ තත්ත්වයේ ඉන්නවා. පන්දු ඕවර විස්‌සක්‌ කඩුලු රැකලා අන්තිම වෙනකම් පිතිකරණයේ යෙදුණෙ මගේ ශරීර සෞඛ්‍ය හොඳ නිසා. නමුත් මස්‌පිඩු පෙරළීමේ ආබාධය නම් මට කොහොමත් තියෙනවා'' යෑයි කුසල් පවසයි.

විස්‌සයි විස්‌ස ඉනිම 13 කට පසුව අර්ධ ශතකයක්‌ ලැබූ කුසල් එහිදී පන්දු 53 කදී හතරේ පහර නවයක්‌ සහ හයේ පහරක්‌ සමඟ ලකුණු 77 ක්‌ ලැබීය. එය ඔහුගේ විස්‌සයි විස්‌ස අර්ධ ශතක ලැයිස්‌තුවේ දෙවැනි වන්නේ 2013 දී ඩුබායිහිදී පකිස්‌තානයට එරෙහිව ලැබූ ලකුණු 84 ට පමණි. ඒ අනුව විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 464 ක්‌ ලබා 48 වැනි තැනටද කුසල් ජනිත් පෙරේරා පත්විය. ශ්‍රී ලංකා පිතිකරුවකු අදාළ ශ්‍රේණියේ මේ වන විට ලද ඉහළම ස්‌ථානයද එය වේ. ඔහුට පිටුපසින් ඇන්ජලෝ මැතිව්ස්‌ 59 වැනි තැනට ශ්‍රේණිගතව සිටියි. කෙසේ වෙතත් 2014 දී විස්‌සයි විස්‌ස පිතිකරු ශ්‍රේණියේ පළමු පිතිකරුවන් දහ දෙනා අතරට පැමිණි කුසල් එහිදී ප්‍රසාද ලකුණු 751 ක්‌ ලබා ගැනීමට සමත් විය.

''පහුගිය කාලයේ මම ගොඩක්‌ වෙලාවට ලබා ගත්තෙ ලකුණු විස්‌සක්‌ සහ තිහක්‌ වගේ පොඩි ගාණක්‌. මම බැලුවා එහෙම ගහල මටත් වැඩක්‌ නැහැ කණ්‌ඩායමටත් වැඩක්‌ නැහැ කියල. ඒ නිසා මම තීරණය කළා දුර්වල පන්දුවලට විතරක්‌ හයියෙන් ගහල ගොඩක්‌ වෙලා කඩුල්ලේ රැඳී ඉඳල කණ්‌ඩායමට උපරිම ලකුණු ගාණ අරන් දෙන්න. ඒ අනුව තමයි මම පහුගිය කාලයේ යළිත් ලකුණු අතරට ආවේ. කොහොම වුණත් මම ඊළඟ තරගය ගහන්න බලාගෙන ක්‍රීඩා කරන කෙනෙක්‌ නෙමෙයි.''

අසාර්ථක වීම සාමාන්‍ය දෙයක්‌ බවත් එය ඕනෑම ක්‍රීඩකයකුට පොදු බවත් කුසල් ජනිත් වැඩිදුරටත් පැවසීය. ''ඇත්තටම ඕනෑම ක්‍රීඩකයකු කණ්‌ඩායමෙන් එළියට යන එක සහ ඇතුළට එන එක සාමාන්‍ය දෙයක්‌. හැබැයි ඊළඟ තරගය ගහන්න මේ තරගයේ හොඳින් කරන්න පුළුවන් කියල ක්‍රිකට්‌ ගහන්න ගියොත් ගහන්න වෙන්නේ නැහැ. ලැබෙන අවස්‌ථාව අනුව කණ්‌ඩායමට කළ යුතු උපරිම දේ කිරීම විතරයි මගේ ඔලුවේ තියෙන්නේ.''

පසුගිය ඔස්‌ටේ්‍රලියානු සහ දකුණු අප්‍රිකානු සංචාර අහිමිවීම සාමාන්‍ය දෙයක්‌ බවත් අසාර්ථක වුණාම ඒ වගේ දේවල්වලට මුහුණ දිය යුතු බවත් පවසන කුසල් කණ්‌ඩායමෙ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනාම එක්‌ව හොඳ කළමනාකරණයකින් බංග්ලාදේශයට පරාජයට ඇද දැමූ බවද පැවසීය.