IPL යන දවසක් හරියට කියන්න බැහැ

දහවැනි වරටත් පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) ඊයේ ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට නියමිත ඇන්ජිලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් තිදෙනාට අයි. පී. එල්. සඳහා සහභාගි වීම ප්‍රමාද කිරීමට සිදුව ඇත.

ඒ අනුව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ලසිත් මාලිංග හා අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන දෙවැනි හා අවසන් විස්සයි - 20 තරගයටද සහභාගි වන බැවින් ඔවුන් දෙදෙනා ඉන් පසුව ඉන්දියාව බලා යෑමට නියමිත බවද පැවැසේ. ඒ නිසා මුම්බායි ඉන්ඩියන්ස් පිලේ දෙවැනි තරගය පැවැත්වෙන ලබන ඉරිදා (9දා) ට පෙර මාලිංග හා අසේල ඉන්දියාව බලා යන බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත්
ශ්‍රී ලංකාවෙන් අයි. පී. එල්. තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් තිදෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය (එන්.ඕ.සී) ලැබී ඇතත් ඩෙල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිත
ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් අයි.පී.එල්. තරගාවලියට එක්වන දිනය තවමත් ස්ථීර නැත. එයට හේතුව ඇති වූ ආබාධිත තත්ත්වයන්ට අදාළව ඔහු සම්පූර්ණ සුවය ලබා ඇතත් ශාරීරික යෝග්‍යතා මට්ටම සියයට සීයකින් සපුරා ඇත්දැයි යන සහතිකය තවමත් නොලැබීම බවද පැවැසේ.

මේ පිළිබඳව වර්තමාන තත්ත්වය ඊයේ දුරකතනය මඟින් ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමාගේ ශාරීරික යෝග්‍යතා මට්ටම පරිපූර්ණ සුවදායී එකක් බවට ක්‍රිකට් ආයතන භෞතචිකිත්සකවරයාගෙන් සහතිකයක් ලැබෙන තෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි. කෙසේ වෙතත් තවත් සතියකින් පමණ එම වාර්තාව ලබා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ මැතිව්ස් "අයි. පී. එල්. කුමන තරගයේ සිට ක්‍රීඩා කරන්න යන්න ලැබේද කියන්න බැහැ. ඒත් ලබන 8දා හා 11දා පැවැත්වෙන තරග දෙකටම යන්න ලැබෙන්නේ නැති එක නම් ස්ථීරයි. ඒත් 3 වැනි තරගයටද (15දා) 4 වැනි තරගයටද (17දා) මට ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ කියන එකත් මට දැන්ම කියන්න බැහැ" යනුවෙන්ද පැවැසීය.

ඇන්ජිලෝ මැතිව්ස්ගේ ආබාධය සම්බන්ධව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍ය කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන්ද මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ මැතිව්ස්ට තිබූ මස්පිඬු ආබාධය දැන් සම්පූර්ණයෙන්ම සුව වී ඇති බවයි. බංග්ලාදේශය සමඟ විස්සයි - 20 තරගාවලියටද ඔහු සහභාගි වීමට නියමිතව සිටියද නැවතත් ඔහුගේ කලවේ වේදනාවක් ඇතිවීම නිසා ඒ අවස්ථාව අහිමි වූ බව කී මහාචාර්යවරයා "ඇන්ජිලෝට දැන් හොඳටම සුවයි. තව සතියකින් විතර එයාට අයි. පී. එල්. යන්නත් හැකි වේවි යනුවෙන්ද පැවැසීය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන්ද මැතිව්ස්ගේ අපි. පී. එල්. සහභාගිත්වය ගැන විමසූ විට ඔහු කියා සිටියේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සම්පූර්ණ සමත් වූ පසු ඔහු ඒ සඳහා නිදහස් කරනු ඇති බවයි. කෙසේ වෙතත් ජුනි මස එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල මැයි මස 16දා හෝ 17දා පිටත්ව යන බැවින් අයි.පි.පී.එල්. තරගාවලිය නිම වීමට පෙර මෙකී ක්‍රීඩකයන් තිදෙනාට නැවත ලංකාවට පැමිණීමට සිදුවන බවද තේරීමේ කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.