වැඩි කලක් ජීවත්වන්න බයිසිකල් පදින්න

පිළිකා සහ හෘද රෝග අවදානම දුරු කිරීම සඳහා සහ වැඩිකාලයක් ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා පාපැදි පැදීම හේතුවන බව ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබේ.

පාපැදි පැදීම මඟින් පිළිකා සහ හෘද රෝග අවදානම සියයට හතළිස් නවයකින් අඩුවන බව එම පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

පර්යේෂණය සඳහා වසර පහක් පුරා පුද්ගලයන් දෙලක්ෂ හැට හතර දහස් තුන්සිය තිස්හත් (264,337) දෙනකු සහභාගිකරවා ගෙන ඇත. බස්රථ, පෞද්ගලික රථවාහන භාවිතයෙන් සහ පාගමනින් ගමන් බිමන් සහ සේවා ස්ථාන වෙත ගමන් කරන පුද්ගලයන්ද එම පුද්ගලයන් අතර වන බව පර්යේෂකයන් පෙන්වා දෙයි.
එම පුද්ගලයන් අතරින් පාපැදි භාවිත කළ කාන්තාවන් සහ පිරිමින් අතරින් සියයට හතළිස් පහක පිරිසකගේ පිළිකා රෝග අවදානමද සියයට හතළිස් හයදෙනකුගේ හෘද රෝග අවදානමද පහවගොස් ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

පර්යේෂණය සඳහා යොදාගත් සෑම පුද්ගලයකුම සතියකට කිලෝමීටර් 30 _ 36 ක දුරක් පාපැදි පැදීම සඳහා යොමුකර ඇති අතර එයට වඩා පාපැදි පැදවූ පිරිස ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්වන බවද පර්යේෂණය සඳහා එක්වූ පර්යේෂකයකු වන වෛද්‍ය ජෝසන් ගිල් ප්‍රකාශ කරයි.