මල්වානේ ගණිකා නිවාසක් වටලයි

මල්වානේ, යබරලුව, කිරියාලමුල්ල ප්‍රදේශයේ හොර රහසේ යුවළක් විසින් පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් තිදෙනකු සමඟ එම යුවළ බියගම පොලිසිය මඟින් ඉකුත්දා අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිසිය විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මේ වැටලීම සිදුකෙරිණි.

මෙම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමියකුගෙන් රුපියල් දෙදහස සිට රුපියල් තුන්දහස දක්වා මුදලක් අයකරනු ලබන අතර ඒ අනුව එක් කාන්තාවක් දිනකට රුපියල් දසදහසත් රුපියල් පහළොස්දහසත් අතර මුදලක් උපයන බවට ද පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය.

මෙම යුවළ විසින් එම නිවෙස කුලී පදනමක් මත ලබාගෙන මේ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබෙන අතර පිරිමි පුද්ගලයා තංගල්ල ප්‍රදේශයේ හා කාන්තාව කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මේ ගණිකා නිවාසයේ සිටි කාන්තාවන් තිදෙනා අතුරුගිරිය, වේයන්ගොඩ හා මින්නේරිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 25, 35 හා 40 වෙති.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මෙම යුවළ හා කාන්තාවන් තිදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

බියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. ජී. එස්. ආර්. සංජීව, පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රංගන සිල්වා, දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් කුමාර යසවර්ධන, පො. කො. මධුශංක, භානුක, ගුණරත්න හා පො. ආරක්ෂක සහායක පෙරේරා යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදුකළහ.