හතුරුසිංහ අපිට එනවනම් මම කැමැතියි

ලබන 9 වැනිදා ආරම්භ වන දේශීය ප්‍රධානතම එක්‌ දින තරගාවලියේ සිට චැම්පියන්ස්‌ කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් එම තරගාවලියේදී ශාරීරික සෞඛ්‍ය සහ පන්දු රැකීම ප්‍රධාන සාධකයක්‌ බවට පත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි.

බංග්ලාදේශය හමුවේ ටෙස්‌ට්‌, එක්‌ දින සහ විස්‌සයි විස්‌ස තරගාවලි ත්‍රිත්වයම ජය ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණක්‌ බවත් ගුරුසිංහ මෙහිදී වැඩිදුරටත් පැවසීය.,

"ඇත්තටම කනගාටුයි අපිට තරගාවලි ආකෘති තුනම ජය ගන්න බැරි වුණ එක ගැන. මොකද අපේ ලොකු හිල් ගොඩක්‌ තිබ්බා. පිතිකරණය, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම වගේ හැම තැනම අපේ අඩුපාඩු තිබ්බා. නමුත් දෙවැනි සහ තෙවැනි එක්‌ දින තරග අපි හොඳට ක්‍රීඩා කළා. පළමු විස්‌සයි විස්‌ස තරගයත් හොඳට ක්‍රීඩා කළා. නමුත් දක්‍ෂතාව එක දිගට පවත්වාගෙන යන්න බැරිවීම ලොකු අඩුවක්‌."

කෙසේ වෙතත් එළැඹෙන චැම්පියන්ස්‌ කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගන්නේ කෙසේ ද යන්න කළ විමසීමදී ගුරුසිංහ පවසා සිටියේ, "ඇත්තටම නව වැනිදා පටන් ගන්න තරගාවලිය තමයි ඒකට ප්‍රධාන තේරීම් වෙන්නෙ. මොකද මම තේරීම් කමිටුවත් එක්‌ක වගේම පුහුණුකරුවන් එක්‌ක කතා කරල තව සැලසුම් වගයක්‌ තියෙනවා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් අයි.පී.එල්. යන ක්‍රීඩකයන් තිදෙනාවත් අපි මැයි මාසයේ දිනයක ලංකාවට එන්න කියල තියෙනවා. මොකද තේරීම් වගයකට ඒ අය සහභාගි වෙන්න ඕන නිසා."

කුමාර් සංගක්‌කාර හෝ මහේල ජයවර්ධන ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගෙන සිටියත් ඔවුන්ට ද වෙනත් රටවල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් නිදහස්‌ කිරීමේ ලිපියක්‌ අවශ්‍ය බවත් එය ලෝකයේ සෑම රටකටම පොදු නීතියක්‌ වී තිබෙන බවත් ගුරුසිංහ පවසයි. ඒ අනුව කිසිම ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අවසරය නැතිව වෙනත් රටවල තරග කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කර සිටියි.

ඇන්ජලෝ මැතිව්ස්‌ගේ තත්ත්වය දැන් යහපත් අතට හැරී ඇති බවත් අවශ්‍ය වූයේ නම් දෙවැනි විස්‌සයි විස්‌ස තරගය ඔහුව ක්‍රීඩා කරවීමට හැකි වූ බවත් ගුරුසිංහ පවසයි. "ඇන්ජලෝ මැතිව්ස්‌ ඇත්තටම සියයට සියයක්‌ සුවවෙලා නැහැ. නමුත් ඔහුට පන්දුවට පහර දෙන්න පුළුවන් ශරීර සෞඛ්‍ය අතින් සමත්. අපිට ඕන එයාව සියයට සියයක්‌ හොඳ වුණහම කණ්‌ඩායමට ගේන්න. මොකද මැතිව්ස්‌ට ආදේශකයන් සොයන්න අමාරුයි. හරියට සංගක්‌කාර සහ මහේලට ආදේශකයන් හොයනව වගේ වැඩක්‌ තමයි ඒක. අපිට ඕනකමක්‌ තිබ්බ නම් දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේදී පිතිකරුවකු විදිහට මැතිව්ස්‌ දාන්න තිබ්බා. නමුත් අවදානමක්‌ ගත්තෙ නැහැ." යනුවෙනි.

චන්දික හතුරුසිංහ තමාගේ මිත්‍රයකු වශයෙන් පුහුණුකරු රැකියාවේදී දක්‌වන දක්‍ෂතාව පිළිබඳව තමා ඉතාමත් සතුටට පත්වන බවත් ඔහුව කෙදිනක හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වුවහොත් හොඳ දෙයක්‌ බවත් ගුරුසිංහ පවසයි. "හතුරුසිංහ ඉතාමත් දක්‍ෂයි. නමුත් ඔහු 2019 වෙනකම් බංග්ලාදේශය සමඟ කොන්ත්‍රාත් අත්සන් කරල තියෙන්නෙ. අපේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් අපෙත් එක්‌ක 2019 වෙනකම් අත්සන් කරල තියෙනවා. ඊට පස්‌සෙ හරි දවසක හතුරුසිංහ අපිට එනවනම් මම කැමැතියි."