මොකක්ද මේ ධාතු ලෙඩේ

මුත්‍රා සමඟ ධාතු පිටවෙනවා කියන කතාව තරුණ වියේ බොහෝ දෙනා තුළ ඇතිවන අනියත භීතිකාවක් ඇතිකර ඇති තවත් ලිංගික මිත්‍යාවකි. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ මුත්‍රා සමඟ ධාතු පිටවීමක් සිදු නොවන අතර එහෙම රෝගයක් ගැන නවීන වෛද්‍ය විද්‍යාව තුළ කොහේවත් සඳහන්ව නැති බවය. මෙය මුළුමනින්ම මිථ්‍යාවක් වන අතරම බඩ වඩා ගන්නට සිතා බොරු අදහස් පතුරවන පිරිසකගේ තවත් උප්පරවැට්ටියකි.

වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ සාමාන්‍ය නිරෝගී අයකුගේ මුත්‍රා අවර්ණ බවය. පැහැදිලි ජලය බඳුය. ඒ වුණත් ජලය අඩුවෙන් පානය කළ විට එහෙම නැත්නම් සමහර ආහාර පාන ඖෂධ ලබාගත් විට ඒවාගේ ඇති වර්ණක නිසා මුත්‍රා වල වර්ණය වෙනස් වන්නට හැකිය. නිදසුනක් හැටියට බීට්රූට් කෑ විට මුත්‍රා වල රතු වර්ණයක් ඇතිවෙයි. විටමින් බී සිරප් හෝ පෙති පානය කළ විට අමතර ප්‍රමාණය ජලය සමඟ දියවී පිටවී යන නිසා මුත්‍රා කහ පැහැයකට හැරෙයි. නමුත් මේ සියල්ල ස්වභාවික තත්ත්වයන්ය.

එසේම ලිංගික සංසර්ගයට පසු එහෙමත් නැත්නම් ස්වයං වින්දනය හෝ ස්වප්න මෝචනයට ලක්වීමට පසු පිටවෙන ධාතු හෝ ශුක්‍රානු ඉතා ස්වල්පයක් රැඳී තිබිය හැකිය. මේ තත්ත්වයද ඉතාමත් ස්වභාවික බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ කියයි. මේ කියන අන්දමේ මුත්‍රා සමඟ ධාතු පිටවෙන රෝගයක් කිසිසේත්ම දක්නට නැති බව පෙන්වා දෙන ඔහු සමහර ස්වභාවික කාරණා වරදවා වටහාගැනීමෙන් මේ මුත්‍රා සමඟ ධාතු පිටවෙන කතාවට තටු ලැබී ඇති බව පෙන්වා දෙයි. සමහරු මේ දේවල් රෝගී තත්ත්වයක් බව පෙන්වාදී මුදල් ගරති.
නමුත් ඇත්ත මෙන්න.

මුත්‍රා පැහැදිලි වීදුරු භාජනයකට දමා ආලෝකයට අල්ලා බැලූ විට එහි වළාකුළු මෙන් ස්වභාවයක් පෙනෙනවා නම් එයට හේතුව ධාතු පිටවීම නොවේ. එයට හේතුව ප්‍රෝටින හෝ පොස්පේට් කාණ්ඩයට අයත් ලවණ සංයෝග හෝ රුධිරය සුළු ප්‍රමාණයක් ඉවත් වීම විය හැකිය. ප්‍රෝටින හෙවත් ඇල්බියුමින් පහවීමට හේතුව වකුගඩු රෝගී තත්ත්වයකි. නැතිව වෘෂණ තුළ ඇති ශුක්‍රාණු මුත්‍රාවලට එක්වීම නොවේ.
සමහර පිරිමින් මළ පහ කිරීම හෝ මුත්‍රා කිරීම සඳහා බිම ඉඳගත් විට මුත්‍රාශය හා ගුදය අතර පුරස්ථි ග්‍රන්ථිය සහ ශුක්‍ර ආශයිකා තෙරපීම නිසා කලාතුරකින් ශුක්‍රානු ස්වල්පයක් මුත්‍රා කිරීමට පෙර ගලා ඒමට හැකිය. එය දකින අය තමන්ට ධාතු පිටවෙනවා යැයි බියට පත්වෙති. හිතෙන් ලෙඩ වෙති. ඈලි මෑලි ගතිය සිරැර කෙට්ටු වීම උදෙසා එය හේතුවක් යැයි සිතා ඇතැම් විට කාංසාවට, මානසික අවපීඩනයට පවා ගොදුරැ වෙති. ඇත්තෙන්ම මෙබඳු රෝගයක් ගැන ප්‍රසිද්ධ කර ඇත්තේ එමගින් මුදල් ගරන ජාවාරම් කාරයන්ය.

♦ උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ