මේ අවුරුද්දේ කොහොම හරි බඳිනවා


අකිල මේ දිනවල කාර්යබහුලයි වගේ. මොකද මේ වැඩ වැඩියිද?
ඔව් වැඩනම් වැඩියි තමයි. පසුගිය දවස් ටිකේම වැඩ බෙදාගෙන තමයි කරන්නේ. වාහනේ යන වෙලාවට කරන වැඩ වාහනෙන් බැහැලා කරන වැඩ කියලා බෙදාගෙන ඉන්නේ. ඒ තරමට වැඩ. මගේ වැඩක් වුණත් කරන්න වෙලාවක් තිබුණේ නෑ.

මොනවද ඔය කියන වැඩ?
හිරු මෙගා ස්ටාර් රියැලිටි ෂෝ එකේ අපි අවසන් වටයට තේරැණා. ඒ කණ්ඩායමේ නර්තන ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. ඇත්තටම තරගයට ආවේ රංගන ශිල්පියෙක් වුණාට දැන් නර්තන ශිල්පියෙකුත් වෙලා. මේ වැඩසටහනේම නටලා නටලා මට දැන් එහෙම වෙන්න වුණා.

ඊට අමතරව තව මොනවද?
මේ අවුරුදු මාසෙනේ. ඉතින් හැම චැනල් එකකම වගේ හැම අවුරුදු වැඩසටහනකම මටත් කතාකරලා තියෙනවා. ඒ හැම එකකම වගේ නටන්නත් තිබුණා. ඒවාට පුරුදු වුණා. ඒ ඔක්කොම මැද්දේ දන්න කෙනෙක් කියන ස්වර්ණවාහිනී වැඩසටහනට සතියකට වරක් ගිහින් කරනවා. දෙරන ඩ්‍රීම් ස්ටාර් එක තියෙනවා. මේ දේවලුත් එක්ක වැඩ වැඩියි.

ඔය කාර්යබහුලකමට සාර්ථකව මුහුණ දෙන්න ඒ වැඩවලට ආස කිරීමත් වැදගත් නේද?
ඔව්. අනිවාර්යයෙන්ම අපි ඒ කාර්යබහුලකමට සුන්දරව මුහුණ දුන්නේ නැත්නම් අපිට ඒක ලොකු ඔළුව කැක්කුමක් වෙනවා. ඒ නිසා මම ඒ හැම දෙයක්ම සුන්දරව දකිනවා. මම මේ වැඩේ ඉවර වෙලා යන්නේ අනිත් තැනට. එතනින් ඒ වැඩේ කරලා තව වැඩකට යනවා. ඒ හැම වැඩකම ප්‍රතිඵල හම්බ වෙන්නේ තව ගොඩාක් කල් ගිහිල්ලා. ඒක නිසා ඒ හැම දෙයක්ම හරි සන්තෝෂයෙන් කරපුවහම ඒවායේ ප්‍රතිඵල ලැබෙද්දී තවත් සතුටු වෙන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනීගේ ඔබේ ආදරණීය අප්පච්චිගේ අලුත් චිත්‍රපටය 1818 අහිමි නිදහස අකිලත් දායක වෙනවා නේද?
ඔව්. ෂූටිං පටන් ගනිද්දී හිරු මෙගා ස්ටාර් වැඩසටහනත් ඉවර වෙලා තියෙයි. එතකොට ඒ චිත්‍රපටයට තමයි වැඩියෙන්ම මහන්සි වෙන්න තියෙන්නේ. රියසල් වැසටහනක අවසාන තරගයේ ඉන්නවා කියන්නේ ආයේ වෙන වැඩසටහනක් කරන්න ලැබෙන්නේ නෑ. ඒත් මම එහෙම නෑ.

ඒකට හේතුව අප්පච්චි නේද?
ඔව්. ඇත්තටම මගේ අප්පච්චි කම්මැලි මනුස්සයෙක් නෙවේ. මොන වැඩේ අරගත්තත් ඒක වැඩක්වත් අතහරින්නේ නෑ. ඒ හැම දෙයක්ම කරනවා. ඒ අස්සේ පාසැලකට ගිහින් කතාවක් පවත්වලා කාටහරි හොඳක් කරන්න තියෙනවානම් ඒකටත් යනවා. ඒකෙන් නැවත ප්‍රතිලාභයක් ඔහු බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔහු දෙන්නමයි බලන්නේ. ඒ තැනට එන්නනම් ඉස්සර අපේ අප්පච්චි අපිටත් වඩා වැඩකරන්න ඇති.

ඒ කියන්නේ අකිලගේ පරමාදර්ශී චරිතය ඔබේ පියා. එහෙම නේද?
ඔව්. අප්පච්චියි අම්මයි දෙන්නම. අපේ අප්පච්චි පුංචි කාලේ සුපිරි වීරයෝ ආශ්‍රය කරලා තියෙනවා. නිවේදකයන් විදිහට ප්‍රේමකීර්ති ද අල්විස්, වේදිකා නාට්‍යයෙන් සුගතපාල ද සිල්වා, සරච්චන්ද්‍ර මහත්තයා, සිනමාවෙන් ලෙස්ටර් ජේමිස් පීරිස්, රංගන ශිල්පීන්නම් ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම. ඒ තමයි අපේ අප්පච්චිගේ හිතේ හිටපු වීරයෝ. ඒ වීරයෝ අධ්‍යයනය කරගෙන බොහෝ දේවල් ඉගෙනගෙන අද ඔහු අපිට සුපිරි වීරයෙක් හදලා තියෙනවා. ඒ තමයි මගේ අප්පච්චි. අප්පච්චිට අද රැකබලා ගන්න ආදරේ කරන ආදරණීය චරිතය මගේ අම්මා.

අම්මා තාත්තට ආදරේ කරනවා වගේ බලාගන්නවා වගේ අකිලට ආදරේ කරන ආදර හිතක් අද මුණගැහිලා නේද තියෙන්නේ?
ඔව්. ඇත්තටම ඒ වගේ ආදරයක් අද මම හොයාගෙනයි තියෙන්නේ. ඇය ගැන කියන්නේ නැතිව ඉන්න එක තමයි අපි ගත්තු ඊළඟ තීරණය. ආදරය කරන්න ඕන. මගේ වයසට ආදරේ කරන්නේ නැත්නම් එක් ලොකු බොරුවක්. දැන්ම ඉඳන් ඒ දේ හොයාගෙන හිටියේ නැත්නම් ඒක මහ වදයක්. ජීවිතය ප්ලෑන් කරලා ජීවත් වෙන්න ඕනෙනේ.

ඒත් අකිල මුල් ආදර කතාව හැමෝටම කිව්වා?
ඔව්. එක ආදර කතාවක් කියලා මම හොඳටම අනාගත්තා. තව පාරක් ඒ වැරුද්ද මම කරන්නේ නෑ. ඒ නිසා ඒ දේවල් කියන්න දැන් මම ඉස්සර වෙන්නෙ නෑ. ජීවිතේ වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි දන්නේ නෑ. ඒත් අද මම හිතන්නේ නෑ ඒ දේ මට හෙට නැති වෙයි කියලා. ජීවත්වෙන්නේ ජීවිතේ. මගේ ගෑනු ළමයාට මම පුදුම විදිහට ආදරෙයි. ඒ ආදරේ නිසාමයි මම දැන් නොකියා ඉන්නේ.

ඇය කලාවට සම්බන්ධ කෙනෙක්ද?
නෑ... ඇය කලාවට සම්බන්ධ නෑ. කලාව මම ඇයට උගන්වනවා. එයයි මායි හැමදෙයක්ම ඉගෙනගන්නවා. මෙගා ස්ටාර් එකේදී උමාරියා රට ගිය නිසා මට සින්දු කියන්න වෙනවා. ඉතින් මම ප්‍රැක්ටිස් වෙන්නේ ඇයත් එක්කයි. එයාටත් හොඳට සින්දු කියන්න පුළුවන්.

ඔයාගේ කලා පවුල ඇතුළේ කාලයක් හැංගිලා ජීවත්වුණු තාලයකට අත්පුඩියක්වත් ගහගන්න බැහැයි කියපු ඔයාට අද කලාවේ කාර්යබහුල කලාකරුවෙක්?
ඔව්නේ. ඉස්සර මම හරිම නිහඬ චරිතයක්. අප්පච්චිලා අක්කලා ගෙදර සින්දු කියද්දී මම අත්පුඩියක්වත් තාලෙට ගැහුවේ නෑ. මටම මේ දේවල් වෙලාවකට පුදුමයි. දැන් ඉතින් පටන්ගත්තු දේ කරගෙන යනවා. දැන් මේවා අතහැරියොත් දැන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මම හිතුවා හැමෝම කරන්නේ අතහරින එකනේ... ඒ නිසාම අතහරින්නේ නැති චරිතයක් වෙනවා කියලා. මම හරි ආසයි අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් වෙන්න.

ඔය වෙනස් වීම අකිලගේ විලාසිතාවලදීත් දක්නට ලැබෙනවාද?
මම බොහෝම චාම් සරල චරිතයක්. මම හැමදාම ඉන්නේ එකම විදිහට. මම හැමදාම රැවුල කපන්නෙත් නෑ. කොණ්ඩෙ කපන්නෙත් නෑ. නානවා විතරයි. මම පිරිසිදුයි. ඒක තමයි මගේ විලාසිතාව. කවුරුහරි කොපි කරනවානම් මාව ඒ විදිහට කොපි කරන්න.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තුව?
මම මේ අවුරුද්දේ කොහොමහරි බඳීවි.