මීතොටමුල්ලේ හානියට වන්දි

මීතොටමුල්ල කුණුකන්ද නාය යැමෙන් සිදුවූ ජීවිත හානියකට රු. ලක්‍ෂයක්‌ සහ දේපළ හානියකට උපරිම වශයෙන් රු. ලක්‍ෂ 25 දක්‌වා වන්දි ගෙවීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මේ වන්දි මුදල් වහාම ගෙවීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය කියයි.

මෙම ආපදාවෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුව මේ වන්දි ලබාදීමට මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු කර ඇත.

මීතොටමුල්ල විපතෙන් පසු අවතැන්ව සිටින ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ලබා දී ඇත. එසේම අවදානම් තත්ත්වයේ පවතින නිවාස නැවත සාදා දීමට හෝ විකල්ප ස්‌ථානවල පදිංචි කරවීමට ද රජය කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියයි.

මුළුමනින්ම විනාශ වූ නිවාස වෙනුවෙන් එම නිවාස හිමියන්ගේ කැමැත්ත අනුව කොළඹ නගරයේ මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීමට හැකි යෑයි මහා නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවද එම අමාත්‍යාංශය කියයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2016 වසරේදී ස්‌වාභාවික විපත් හේතුවෙන් ආපදාවට ලක්‌වන ජීවිත හා දේපොළ හානිවලට වන්දි ලබාදීමේ පියවරක්‌ ලෙස ජාතික රක්‍ෂණ භාර අරමුදල හරහා මුළු රටම ආවරණය වන පරිදි රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දෙන ලද බැවින් විපතට පත්වූවන්ට පහසුවෙන් වන්දි දීමට හැකිවී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.