සංගක්කාරට තානාපති තනතුරක්

ලබන ජුනි මස එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන රටවල් 8 නියෝජනය වන පරිදි තානාපතිවරුන් 8 දෙනකු තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) තීරණය කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු නායක කුමාර් සංගක්කාර පත් කිරීමට අයි.සී.සී. ය පියවර ගෙන තිබේ.

ලබන ජුනි මස 1 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන මෙම එක්දින තරගාවලියේදී ලොව එක්දින ශේ‍ර්ණිගත කිරීම් අනුව පළමු ස්ථාන 8 හි රැඳී සිටින කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර එම සෑම රටක්ම නියෝජනය වන පරිදි එක් රටකට එක් තානාපතිවරයකු බැගින් තානාපතිවරුන් 8 දෙනකු තෝරා ගැනීමට අයි.සී.සී.ය පියවර ගත්තේය.
චැම්පියන්ස් කුසලාන තරගාවලිය පැවැත්වෙන කාල පරාසය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා පුහුණු කඳවුරු මෙන්ම පාසැල් ළමුන් අතරට ක්‍රිකට් ක්‍රීඩාව ගෙන යෑම මොවුන්ට පැවරෙන ප්‍රධානතම රාජකාරිය බවට පත්ව ඇත.

ඒ අනුව චැම්පියන්ස් කුසලානය තරගාවලියේ සෙසු තානාපතිවරුන් ලෙස පාකිස්තානයේ ශහීඩ් අෆ්රිසි, බංග්ලාදේශයේ හබිබුල් බෂාර්, එංගලන්තයේ ඉයන් බෙල්, නවසීලන්තයේ ෂේන් බොන්ඩ්, ඕස්ට්‍රේලියාවේ මයික් හසී, ඉන්දියාවේ හර්බජාන් සිං සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ග්‍රැහැම් ස්මිත් යන හිටපු සුපිරි ක්‍රීඩකයන් රැසක් නම් කර ඇත.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලි 6කට ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර එක්දින ජාත්‍යන්තර තරග 404 කදී ශතක 25ක් සමඟින් ලකුණු 14234ක් ලබා තිබෙන අතර මෙම පත්වීම පිළිබඳව සතුටට පත්වන බව පවසා ඇති සංගක්කාර එය තමාට ලැබුණු ගෞරවයක් බවද ප්‍රකාශ කර ඇත.

සටහන - කෝසල ගමගේ