පොල්තෙල් ගැන පරෙස්‌සමෙන්

පොල්තෙල්වලට විශාල ඉල්ලුමක්‌ පවතින සිංහල අවුරුදු සමයේ නාගරික මෙන්ම ග්‍රාමීය කුඩා පරිමාණ වෙළඳසැල්වල පොල්තෙල් ලෙස අලෙවි කරන්නේ සැබෑ පොල්තෙල්මද යන කාරණය ගැන සියලුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දැඩි අවධානයකින් පසුවන බව දෙනිපිටිය සහ වරකපිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එම්.ජී. රුවන් ප්‍රියන්ත මහතා පවසයි.

පොල්තෙල්වල පරිමාව වැඩිකර ගැනීම සඳහා ඇතැම් කූට වෙළඳුන් එක්‌ කරනා විවිධ ආදේශක අතිශයින්ම පිළිකා කාරක අහිතකර රසායනයන්ගෙන් යුතු වීම එම අවධානයට පාදකව ඇති නිසා පොල්තෙල් මිළදී ගැනීමේදී සහ අළෙවි කිරීමට තොග වශයෙන් ලබා ගැනීමේදී දැඩි ලෙස සැලකිළිමත් වන ලෙස සමස්‌ත මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අංශ වෙළඳ ප්‍රජාවට අනතුරු හඟවයි.

එසේ සැක සහිත පොල්තෙල් සාම්පල ලද විගස අදාළ දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලයේද මැදිහත් වීමෙන් ඒවා කළුතර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ රස පරීක්‍ෂක කාර්යාලය වෙත යවා පරීක්‍ෂා කර සංයුතියේ වරදක්‌ ඇතොත් එම පොල්තෙල් බෙදා හරින්නන්ට සහ අලෙවි කරන්නන්හට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වැඩිදුරටත් කීය.