ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි


ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා සලකා බැලෙන සුදුසුකම් තවදුරටත් දැඩි කිරීමට එරට රජය තීරණයකර තිබෙනවා. ඒ අනූව ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් කෙනෙකු අවම වශයෙන් වසර 04ක කාලයක් එරට ස්ථීරව පදිංචිව සිටිය යුතුයි. ඉංග‍්‍රීසි භාෂාවේ ප‍්‍රවීණත්වය මැන බලන පරීක්ෂණයකට ද මුහුණ දීමට ඔවුන්ට සිදු වනවා.

මීට අමතරව ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ඉල්ලූම් කරන්නන් සඳහා එරට වටිනාකම් පිළිබඳ බහුවරණ පරීක්ෂණයක් ද පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මෙම විභාගය අවස්ථා 03කට වඩා අසමත් විය නොහැකි බව ද නව රෙගුලාසිවල දැක්වෙනවා.

එරට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පහසු මාර්ගයක් ලෙස සැලකුණු පුහුණු ශ‍්‍රමිකයන් සඳහා බල පැවැත්වූ 457 වීසා කාණ්ඩය අහෝසි කරන බවයි අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා නිවේදනය කර ඇත. ලාංකිකයන් වැඩි වශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ රැකියා සඳහා යොමුවුයේද මෙම වීසා කාණ්ඩය ඔස්සේයි.

ඕස්ටේ‍්‍රලියා ජාතිකයන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා පිරිනැමීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගන්නා බවයි මැල්කම් ටර්න්බුල් මහතා කියාසිටියේ. මින් ඉදිරියට විදේශික පුහුණු ශ‍්‍රමිකයන් වෙනුවෙන් ස්ථිර වීසා නොව තාවකාලික වීසා කාණ්ඩ 2 ක් යටතේ වීසා නිකුත් කෙරෙනු ඇති. එහෙත් ඉහතදී මෙන් වෘත්තීන් රැසකින් සමන්විත ලැයිස්තුව වෙනුවට කෙටි ලැයිස්තුවක් පමණක් සලකා බැලෙනු ඇති. ඒ සඳහා සලකා බැලෙන සුදුසුකම් අවශ්‍යතා සංඛ්‍යාවද ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

457 වීසා කාණ්ඩය යටතේ පසුගිය වසරේදී පුද්ගලයන් 95758 කට ඔස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය පිරිනමා තිබුණු අතර ඉන් බහුතරය ඉන්දියානුවන් වූ අතර බි‍්‍රතාන්‍ය ජාතිකයන් සහ චීන ජාතිකයන් පිළිවෙලින් 2 වන හා 3 වන ස්ථානවල පසුවුණා. මොවුන්ගෙන් වැඩි පිරිසක් සූපවේදීන් / පරිඝණක මෘදුකාංග ශිල්පීන් හා සෞඛ්‍ය සේවකයන් ලෙසයි සේවයේ නිරතවූයේ.

පැවති පුහුණු ශ‍්‍රමික ලැයිස්තුවේ පැවති රැකියා 650 න් 200ක් යෝජිත ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත් දැනට ඔස්ටේ‍්‍රලියා පුහුණු ශ‍්‍රමික වීසා හිමි කිසිවෙකුටත් නව ක‍්‍රමයෙන් බලපෑමක් එල්ල වන්නේ නැහැ. නව ක‍්‍රමය යටතේ දැඩි වීසා ප‍්‍රතිපත්තියක් යටතේ වීසා පිරිනැමෙන්නේ වසර 2 ක් සඳහා පමණයි. ඔවුන්ටද ස්ථිර පදිංචිය ලබා නොදෙන බව ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අවධාරණය කර ඇත.