පන්නිපිටියේ බෝගස කැපීම උසාවියෙන් අත්හිටුවයි

කොට්‌ටාව නගරයේ පිහිටි වසර 400 කට අධික කාලයක්‌ පැරැණි පන්නිපිටිය බෝගස කපා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඬුල්ල ලබන මැයි 9 වැනිදා දක්‌වා බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කළේය.
වේරදුවේ සිරිජෝති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් සිව් දෙනකු ගොනුකර තිබූ එම පෙත්සම ඊයේ (6 දා) කැඳවූ අවස්‌ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්. තිලකරත්න හා කනිෂ්ක විතාරණ යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් සඳහන් කළේ වගඋත්තරකරුවන්ගේ එකී ක්‍රියා කලාපය නිසා සිය සේවාදායකයන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය වන බවයි.

බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදී එය සුරකින බවට ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින්ම සහතික කොට තිබියදීත් වසර සිය ගණනාවක්‌ තිස්‌සේ ප්‍රදේශවාසීන් වන්දනාමාන කළ ආගමික සංකේතයක්‌ වන බෝගසක්‌ කපා දැමීමට බලධාරීන් ගත් තීරණය ඉතා අඥන තීරණයක්‌ බවද වේරදූවේ සිරිජෝති හිමියන් ඇතුළු පෙත්සම්කරුවන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණි.

කොළඹ - අවිස්‌සාවේල්ල මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එකී බෝගස කපා දැමීමට තීරණය කොට ඇතත්, එය නොකපා මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව ඕනෑ තරම් පවතින්නේ යෑයිද පෙත්සම්කරුවන් එම පෙත්සම මගින් දන්වා තිබුණි.