ජේලර්ලාටත් STF පුහුණුව

බරපතළ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණ වෙත රැගෙන යෑමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පුහුණුව ලත් බන්ධනාගාර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පසුගියදා පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම ඒකකය පිහිටුවීමට අදහස් කර ඇත. මේ සඳහා දැනට දිවයින පුරා බන්ධනාගාරවල රාජකාරි කරන සුදුසුකම් සහිත නිලධාරීන් මෙන්ම අලුතින් බඳවාගන්නා නව නියාමකවරුන් ද යොදාගන්නා බව මේ පිළිබඳ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීවේය.

මේ අනුව 2017 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නවක නියාමකවරුන් 800ක් පමණ බඳවා ගැනීමට නියමිත අතර එයින් තෝරාගන්නා අය ද මෙම විශේෂ ඒකකයට ඇතුළත් කරති.
මෙම බන්ධනාගාර නිලධාරීන් විශේෂිත එස්. ටී. එෆ්. පුහුණුව ලබාදීමට පොලිස්පතිවරයා කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව පුහුණුව ලැබු මොවුන් දිවයින පුරා පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර 23කට යොදවන බව උපුල්දෙණිය මහතා අවධාරණය කරයි.
විශේෂ ගණයේ සිරකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණය තෙක් ගෙන යෑමේදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීම පොලිස් නිලධාරින්ගේ හිඟතාව මත හරිහැටි සිදු නොවීය. පසුගියදා පාතාලයේ කෙරුමෙකු වන සමයං ඇතුළු පාතාල සාමාජිකයන් අධිකරණයට ගෙන ඒමට පොලිස් ආරක්ෂාව ඉල්ලු මොහොතේදී ද නිලධාරීන්ගේ හිඟතාව නිසා පොලීසිය ආරක්ෂාව ලබාදී තිබුණේ නැත. මේ පිළිබඳ කළ විමසීමේදී පොලිසිය පැවසුවේ ආරක්ෂාව ඉල්ලු විට ලබා දෙන්නේ අවි ගත් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය බවත් මෙවන් පාතාල ප්‍රහාරයකදී එම දෙදෙනාගේ සේවය කෙතරම් දුරට සෑහේ ද යන්න මෙහිදී හොඳින් සලකා බැලිය යුතු බවය.
ඒ නිසා මීට වඩා පුළුල් ආරක්ෂාව එවැනි පාතාල සිරකරුවන් ගෙන යාමේදී හා ගෙන ඒමේදී ලබාදිය යුතුව ඇතැයි පොලීසිය බන්ධනාගාරයට පෙන්වා දී ඇත.
මේ අනුව ඉදිරියේදී එස්. ටී. එෆ්. පුහුණුව ලත් අවි පුහුණු බන්ධනාගාර නිලධාරීන් 200ක කණ්ඩායමක් දිවයින පුරා පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර 23කට යොදවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකයා කියයි.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු කණ්ඩායමක් ඉකුත් ආසියාතික සමුළුවකට සහභාගි විය. ඒ බන්ධනාගාර තුළ පවත්නා අඩුපාඩුකම් හා ඉදිකිරීම් පිළිබඳ සාකච්ඡාවක් සඳහාය.
මේ අනුව ඉදිරියේදී බන්ධනාගාරවල කෙරෙන නීති විරෝධි ක්‍රියා, පාතාල ක්‍රියාකාරකම්, ජංගම දුරකථන භාවිතය ආදිය තුරන් කිරීමට අලුත් වැඩපිළිවෙළ කිහිපයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.