'ආවා' කල්ලිය කොළඹට පනී

කප්පම් ගැනීම්, පැහැරගෙන යැම්, මිනී මැරුම්, කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටින ආවා පාතාල කල්ලියේ වර්තමාන නායකයා බව කියන ධනංජයන් ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනකු කොළඹ කොටහේන ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්‌නයක සැඟවී සිටියදී යාපනයෙන් පැමිණි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (18 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල කල්ලිය කොළඹ පදිංචි දෙමළ ව්‍යාපාරිකයන්ට ද තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගෙන ඇති අතර ඔවුන් තවත් අපරාධ රැසක නිරත වූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය කාල සීමාවේදී පොලිසිය දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර ආවා කල්ලියේ වර්තමාන නායකයා තවත් පාතාල සාමාජිකයන් පිරිසක්‌ සමඟ කොළඹට පැමිණ සැඟවී සිට ඇති බව පොලිසිය පවසයි.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹට පැමිණි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ධනංජයන් නමැත්තා ඇතුළු පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා අලුයම් කාලයේදී ය.

පසුගිය කාල සීමාවේදී යාපනය අර්ධද්වීපය පුරා ඇති වූ කප්පම් ගැනීම්, පැහැරගෙන යැම්, මුදල් කොන්ත්‍රාත් මත සිදු කළ පහරදීම්, මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට ධනංජයන් නමැත්තා සෘජුවම සම්බන්ධ බවට පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරියකු කපා කොටා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට ද මොහු සම්බන්ධ බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.