බබාලාගේ බර වැඩි වෙන අලුත් ක්‍රමයක්‌

සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ (සීනි රහිත) පානය කිරීමෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා වයස්‌වල පසුවන දරුවන්ගේ බර කිසියම් ප්‍රමාණයකින් වැඩිවීමක්‌ සිදුවන බව ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.මෙම අධ්‍යයනයට අනුව සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ දිනකට වරක්‌ පානය කරන වයස අවුරුදු 1 -6 වයස්‌ කාණ්‌ඩයට අයත් දරුවන්ගේ ශරීරයේ බර රාත්තල් 0.3 කින් පමණ වැඩිවේ.

කෙසේ වුවද සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ පානය කරන වයස අවුරුදු 7 ට වඩා වැඩි ළමුන්ගේ එවැනි බර වැඩිවීමක්‌ පිළිබඳව වාර්තා වී නැතැයි එම අධ්‍යයනය මෙහෙයවූ ඇමරිකා එක්‌සත් ජනපදයේ සියෑටල්හි පිහිටි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය බ්‍රෙන්ඩන් අවර්බැච් පවසයි.

ඔහුට අනුව සියයට සියයක්‌ ස්‌වභාවික පලතුරුවලින් තැනුවද එම පලතුරු යුෂවල සීනි විශාල වශයෙන් අන්තර්ගතව පවතී. එම යුෂවල අඩංගු වනුයේ ස්‌වභාවික සීනි වන අතර එම සීනිද ශරීරයේ බර වර්ධනයට මෙන්ම දත්වල කුහර සැදීමටද, දියවැඩියාව වැළඳීමටද අනාගතයේදී හේතු විය හැකිය.