යුද හමුදාවේ තිදෙනකු රිමාන්ඩ්

පානීය ජලය ඉල්ලා රතුපස්‌වල ඇතුළු අවට ප්‍රදේශවල ජනතාව වැලිවේරිය නගරයේදී කළ උද්ඝෝෂණයට යුද හමුදාව එල්ල කළ වෙඩි පහරින් තිදෙනකු ඝාතනය වීමත් තවත් පිරිසක්‌ ඝාතනය කිරීමට තැත් කිරීමත් යන චෝදනා යටතේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (24 දා) සවස ගම්පහ අධිකරණයට ඉදිරිපත් කෙරුන යුද හමුදා සාමාජිකයන් තිදෙනකු ලබන අප්‍රෙල් මස 03 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්‌ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියම කළාය.

යුද හමුදා සේවා බළකායේ මාණ්‌ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන සහ පාබල හමුදාවේ කෝප්‍රල්වරුන් වන ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ගේ්‍ර යන සැකකරුවන් තිදෙනාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

2013 වර්ෂයේ අගෝස්‌තු 01 වැනිදා එම උද්ඝෝෂණය කළ පිරිසට යුද හමුදාව මගින් වෙඩි තබා තිබිණි. එම වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ශමිල රවිශාන්, අකිල දිනේෂ් සහ නිලත්ත පුෂ්පකුමාර යන තිදෙනා මියගොස්‌ තවත් පිරිසක්‌ බරපතළ තුවාල ලබා තිබිණි. වැලිවේරියේ උද්ඝෝෂණයට පැමිණි යුද හමුදා නිලධාරීන් සන්තකයේ තිබූ ටී 56 ගිනි අවි සහ අපරාධය සිදුවූ ස්‌ථානයේ බිම වැටී තිබියදී සොයා ගත් හිස්‌ උණ්‌ඩ කොපු රජයේ රස පරීක්‌ෂක වෙත යෑවීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා සන්තයේ තිබූ ගිනි අවි සහ එම හිස්‌ උණ්‌ඩ කොපු සැසඳෙන බවට ලද රස පරීක්‌ෂක වාර්තාව අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

සැකකරුවන් තිදෙනා වෙනුවෙන් නීතිඥ සංජලා වන්නි ආරච්චි මෙනවිය පෙනී සිටි අතර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ උප පොලිස්‌ පරීක්‌ෂක උපාලි බණ්‌ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීමට සහාය විය.