මගී බස් ප්‍රමුඛතා මංතීරු නියමු ව්‍යාපෘතිය අදත්

පොදු ප‍්‍රවාහන බස්රථ සඳහා මගී ප‍්‍රවාහන බස්රථ ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දෙමින් පසුගිය 12 වැනිදා සිට සතියක කාලයක් පුරා රාජගිරිය මංසන්දියේ සිට රාජගිරිය ආයුර්වේද මංසන්දිය දක්වා කි‍්‍රයාත්මක වන නව රථවාහන සැලැස්ම තුන්වැනි දිනටත් අද (14දා) සිට කි‍්‍රයාත්මක වේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, මොරටුව විශ්ව විද්‍යාලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ‍්‍රී ලංකා රථවාහන පොලීසිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13දා) සවස රථවාහන සැලැස්මේ ප‍්‍රගති සමාලෝචනය රාජගිරිය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේදී සිදු කෙරිණි.

12 සහ 13 යන දිනයන්හිදී මගී ප‍්‍රවාහන බස්රථ සඳහා මාර්ගයේ වම්පස මංතීරුව වෙන්කර තිබුණි. ඒ අනුව මගී බස්රථ වෙනදාට වඩා අඩු කාලයකදී ගමනාන්තයට ළඟා වී තිබූ බව අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, පුද්ගලික රථවාහන සඳහා මේ මගින් යම් යම් අපහසුතාවන්ට මුහුණපෑමට සිදුව ඇති බවද හඳුනාගත් බවත්, එම ගැටළු අවම කිරීම සඳහා ඊයේ (13දා) දින සිදුකළ සාකච්ඡාවේදී තීන්දු තීරණ ගත් අතර ඒ මගින් අද (14දා) දිනයේදී මගීන් සහ රියදුරන්ට සිදුවන හිරිහැර අවම වන ලෙස මෙම නියමු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනු ලැබුණු බවත් අමාත්‍යාංශය පවසයි.

මගී ප‍්‍රවාහන බස්රථ සඳහා කි‍්‍රයාත්මක මෙම නියමු ව්‍යාපෘතිය නිසාවෙන් මගීන්ට, රියදුරන්ට, පුද්ගලික රථවාහන හිමිකරුවන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව නියමු ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව සිය කණගාටුව ප‍්‍රකාශ කර සිටින බවත්, මෙම කෙටි කාලය තුළ සිදුවන අපහසුතාවය විඳදරා ගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදී මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස නියමු ව්‍යාපෘතිය මෙහෙයුම් කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.