තිස්සගේ නඩුව කල්යයි

හිටපු එජාප මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට අදාළව ගොනු කර ඇති නඩුව එළඹෙන ජූලි මස 17 වන දිනට කල් තබා තිබේ.

අදාළ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව මුළුමනින්ම පාහේ පදනම්ව ඇත්තේ 1වන හා 2වන සාක්ෂිකරුවන් මත බැවින් වුවත් ඔවුන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගයට වෙන යම් දිනයක් ඉල්ලා තිබේ.

මෙම නඩුවේ 1 වෙනි හා 2 වෙනි සාක්ෂිකරුවන් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා බවත්, ඔවුන් දෙදෙනා රාජකාරී බහුල බැවින් අද දිනයේ අධිකරණයට පැමිණීමට අපහසු බව කල්තියා අධිකරණයට දන්වා ඇති බවත් මෙහිදී සඳහන් විය.

ඒ අනුව අදාළ නඩුව ජූලි මස 17 වන දින විභාගයට ගැනීමට මහාධිකරණය තීරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි කියමින් කූඨ ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කළ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගෙන පසුගිය ඔක්තෝබර් 19දා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකොට පසුව ඇප මත නිදහස් විය.

තිස්ස අත්තනායක මහතා ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේ එජාපයේ මහලේකම් ධූරයෙන් ඉවත්වී දින කිහිපයකට පමණක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද ලබාගත්තේය.
Related Posts Plugin for WordPress, Blogger...