කොළඹ බාලිකා පාසල්වලට පොලිස්‌ ආරක්‌ෂාව

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සියලුම බාලිකා පාසල්වලට ඊයේ (23 දා) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්‌ ආරක්‌ෂාව සැපයීමට පොලිස්‌ මූලස්‌ථානය පියවර ගෙන ඇත.

ක්‍රිකට්‌ තරග හේතුවෙන් පාසල් සිසුන් බාලිකා විදුහල්වලට කඩා පැනීමේ ප්‍රවනතාවක්‌ ඇතිවී තිබෙන බවත් එය වළක්‌වා ගැනීම සඳහා එම පාසල්වලට හා ආසන්න ප්‍රදේශවලට පොලිස්‌ නිලධාරීන් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කටයුතුවල යොදවන බවත් පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

පෙරේදා (21 දා) කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුන් පිරිසක්‌ බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයට අනවසරයෙන් ඇතුළු වී සිසුවියන් හා ගුරු මණ්‌ඩලය භීතියට පත්කරමින් සහ එම විද්‍යාලයේ සේවකයකුට පහරදී අනර්ථයක්‌ සිදු කිරීමෙන් පසු සෙසු බාලිකා පාසල්වලද ආරක්‌ෂාව සඳහා මෙම පියවර ගත් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

එම කාන්තා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කීය.

බාලිකා විද්‍යාල අසල පොලිස්‌ නිලධාරීන් යෙදවීමට අමතරව හදිසි ඇමතුම් රථ සහ ජංගම සංචාර රථ ද යොදවා ඇතැයි කී ඒ මහතා ඊට අමතරව අවේක්‌ෂණ කැමරා පද්ධති සහිත විශේෂ රථ ද යොදවා ඇතැයි කීය.

ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට්‌ තරග හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට අවතීර්ණවන සිසුන් නීති විරෝධි ලෙස හැසිරුණහොත් ඔවුන්ට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස්‌ ස්‌ථානවලට පොලිස්‌ මූලස්‌ථානය මගින් දැනුම් දී ඇතැයි ඒ මහතා තවදුරටත් කීය.