නෙත් එෆ් එම් මැදිරියේදී ආමි රොෂාන් අත්අඩංගුවට

නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව මගින් විකාශය කරන‘අන් ලිමිටඩ්‘ නමැති වැඩසටහනකට පෙරේදා (21) අඟහරුවාදා රාත්‍රියේ සජීවීව සහභාගී කරවාගත් මිනීමරු පාතාල නායකයෙකු වන ‘ආමි රොෂාන්‘ එම වැඩසටහන අතරවාරයේ ගුවන් විදුලි රසිකයෙකු පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත වැඩසටහන අවසන් වන අවස්ථාවේ අත්අඩංගුවට පත්ව තිබේ.

මේ දිනවල සමයං ඝාතනය සම්බන්ධයෙන් නිතර කථාවෙන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයකු වන රොහාන් ප‍්‍රදීප් හෙවත් "ආමි රොෂාන්" ගුවන් විදුලි වැඩසටහන අතර අදහස්‌ දක්‌වමින් සමයං ඝාතනය ඉතාම හොඳ ක්‍රියාවක්‌ බව පවසා ඇති අතරම එය අංගොඩ ලොක්‌කා ඇතුළු කල්ලිය සිදුකළ බවට තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් තමා දැන් අපරාධ නොකරන බවද ඔහු එහිදී පවසා ඇත.
මෙම වැඩසටහන බම්බලපිටිය ටවර් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් මැදිරි සංකීර්ණයෙන් බාහිර රහසිගත ස්ථානයක සිට සජීවීව ගෙන එන බව දක්වමින් පූර්ව ප්‍රචාර ගෙන ගොස් තිබුණ අතර වැඩසටහන අතරවාරයේ පවා සඳහන් කර තිබුනේ එය රහසිගත තැනක සිට ගෙන එන බවකි. නමුත් ඔහුව ඇත්තටම සම්මුඛ සාකච්ඡාවට භාජනය කර ඇත්තේ එම මැදිරියේ සිටමය.
පොලිසියට අවශ්‍ය පාතාල සාමාජිකයකු ගුවන් විදුලි නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට පැමිණ සිටින බවට ප්‍රේක්‍ෂකයකු විසින් 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසුව බම්බලපිටිය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ගුවන්විදුලි නාලිකාව පිහිටි ටවර් ගොඩනැගිල්ල වටලා ඉතාම සූක්‍ෂම අන්දමින් පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.
ආමි රොෂාන් නමැති පාතාල සාමාජිකයා කලක්‌ යුද හමුදාවේ රාජකාරී කර පලාගිය අයෙකු වන අතර මොහු මුලදී සමයං ගේ කල්ලියට සම්බන්ධ වී සිට පසුව ඔහු සමග උරණවී අංගොඩ ලොක්‌කාගේ කල්ලියට සම්බන්ධ වී ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
සැකකරු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව වාර්තාවේ.
පහත පළවන්නේ ආමි රොෂාන් සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ පටිගත කළ හඬ පටයයි.