මාගරින් ශරීර සෞඛ්‍යයට අහිතකරයි

මාගරින් ඇතුළු ට්‍රාන්ස මේදය (ට්‍රාන්ස්‌ ෆැට්‌ස්‌) අඩංගු ආහාර වර්ග අනුභව කිරීම හේතුවෙන් පුද්ගලයකු මරණයට පත් වීමේ අවදානම සියයට 34 කින් ඉහළ නංවන බව බටහිර වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ "ද ටෙලිග්‍රාෆ්" පුවත්පත පවසයි.

මේ අනුව සංතෘප්ත මේදයට වඩා ට්‍රාන්ස්‌ මේදය අඩංගු ආහාර වර්ග මනුෂ්‍ය ශරීරයට අහිතකර බව හෙළි වී ඇති අතර, පර්යේෂණය පැවැත්වූ කැනඩාවේ මැක්‌මාස්‌ටර් සරසවියෙහි සහකාර මහාචාර්ය වෛද්‍ය රසල් ඩී සුසාට අනුව සංතෘප්ත මේදයන් අඩංගු බටර්, එළකිරි, සැමන්, බිත්තර කහ මදය හා පැළෑටි ආශ්‍රිත තෙල්වලින් නිපදවන ආහාර හා තෙල් වර්ගවලට වඩා ට්‍රාන්ස්‌ මේදය අඩංගු ආහාර හෘද රෝග අවදානම වැඩි කිරීමට මුල් වේ. 

මෙයට පෙර බටර් වැනි සංතෘප්ත මේදයන් අඩංගු ආහාර වර්ග අනුභව කිරීමෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යන බව පර්යේෂකයන් පවසා තිබිණි.

එහෙත් වත්මන් පර්යේෂණවල ප්‍රතිඵලවලට අනුව එම ආහාරවලට වඩා ට්‍රාන්ස්‌ මේදය අඩංගු ආහාර අනුභව කිරීමෙන් කොරනරි හෘද රෝග වැළඳීමේ අවදානම සියයට 28 කින්ද, හෘද රෝග වැළඳීමේ අවදානම සියයට 21 කින්ද ඉහළ නංවන බව ඔහු කියයි.

මෑතකදී මිලියනයකට අධික ජනගහනයක්‌ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයන 50 ක පමණ සංඛ්‍යාවකින් හෙළි වී ඇත්තේ සංතෘප්ත මේදයන් මරණීය තත්ත්වයේ රෝග ඇති කරන බවට කිසිදු සාක්‌ෂියක්‌ නොමැති බවයි.