72 හැවිරිදි කත අඹුකමට ගන්න හදලා

කොටහළු මඟුලකට පැමිණ ප්‍රථම වරට මත්පැන් බී වෙරිමරගාතේ වයස අවුරුදු 72ක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කර ඇති පුද්ගලයකු හෙට (17 වැනිදා) දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (14දා) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් ගත කිරීමට නියම වූයේ හාලිඇළ උණගොල්ල වතුයායේ පදිංචි පෙරුමාල් සිවඥානම් කුමාර් නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ හාලිඇළ පොලිසියේ සැරයන් උපාලි (23179) මහතා කියා සිටියේ උණගොල්ල වතුයායේ නිවෙසක තිබී ඇති කොටහළු මංගල්‍යයකට පැමිණ ඇති සැකකරු යහළුවන්ගේ පෙරැත්ත කිරීම අනුව මුල්වරට මත්පැන් පානය කර ඇති බවයි.

මත්පැන් සාදය යාබද නිවෙසක පවත්වා ඇතැයි අධිකරණයේදී කියා සිටි සැරයන්වරයා සැකකරු මත්පැන් පානය කර අධික බීමතින් එම සාදය පැවැති නිවෙසේ සිටි සෙසු පුද්ගලයන් පිටව ගිය පසු එම නිවෙසේ හිමිකාරිය වන වයස අවුරුදු 72ක මහලු කාන්තාව කාමරයකට ඇදගෙන ගොස් ලිංගික අතවර කිරීමට උත්සාහ දරා ඇති බවයි.

ඇයගේ කෑ ගැසීම ඇසී අවට පුද්ගලයන් පැමිණ කාන්තාව බේරාගෙන ඒ පිළිබඳව පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද කීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමින්ද දයාවංශ මහතා ප්‍රකාශ කළේ මෙම උත්සවය අතර තුර දෙපාර්ශ්වයක් අතර ඇති වී තිබෙන ගුටිබැට හුවමාරුවකින් පසුව මෙම පුද්ගලයා මහලු කාන්තාවක් දූෂණය කිරීමට උත්සාහ කළ බව පවසමින් පොලිසියට භාරදී ඇති බවත් සුදුසු ඇපයක් මත ඔහු නිදහස් කරන්නැයිද ඉල්ලා සිටියේය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බදුල්ල මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය සැකකරු හෙට (17 වැනිදා) දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස නියෝග කළාය.