ලංකාවේ අවුරුද්දකට කුකුළන් කෝටි 13ක් මරා දමනවා

ශ්‍රී ලංකාවාසීන්ගේ ආහාරය සඳහා මස් ලබා ගනු පිණිස වසරකදී කුකුළන් දහතුන් කෝටි විසි ලක්ෂයක් ඝාතනය කෙරේ.කුකුළන්ට අමතරව ගවයන් එක්ලක්ෂ හැටහත් දහසක්ද එළුවන් පනස් දහසක්ද මස් පිණිස ඝාතනය කෙරේ.
ශ්‍රී ලංකාවේ මස් පිණිස මරා දමන එම සතුනට අතිරේක වශයෙන් 2016 වසරේදී එළු මස් මෙටි්‍රක්ටොන් 297ක්, බැටළු මස් මෙ.ටො. 131ක් හා හරක් මස් මෙ.ටො. 85ක් විදේශ රටවලින් ආනයනය කරයි. ශ්‍රී ලංකාවට මස් ආනයනය කරන ප්‍රධාන රටවල් දෙක ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනයට කුකුළු මස් මෙටි්‍රක් ටොන් 1,65,000ක්, හරක් මස් මෙ.ටො. 31,625ක්, එළුවන් මෙ.ටො. 1,696ක් හා බැටළු මස් මෙ.ටො. 131ක් අවශ්‍ය වේ.

එම අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව නොමැති බැවින් විදේශයෙන් ආනයනය කෙරේ.
අවශ්‍යතා එසේ වුවත් ශ්‍රී ලංකාව එළුවන් මෙ. ටො. 0.008ක්, කුකුළු මස් නිෂ්පාදන මෙ.ටො. 1,473ක් සහ හරක් මස් නිෂ්පාදනය මෙ.ටො. 67ක් අපනයනය කිරීමෙන් 2016 වසරේදී රුපියල් මිලියන 166.9ක ආදායමක්ද උපයාගෙන තිබේ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමැතිවරයාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පිළිතුරෙහි ඉහත තොරතුරු සියල්ල ඇතුළත්ය