සයිටම් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයට වෛද්‍ය සිසුන් ඇතුළත් කරගැනීම මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීම ඇතුළු කාරණා තුනක් සයිටම් පරිපාලනයට යෝජනා කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව සයිටම් ආයතනයේ වර්තමාන වෛද්‍ය උපාධි වැඩසටහන පිළිබඳ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් කාලීන සමාලෝචනයක් කරන තෙක් එම පීඨයට වෛද්‍ය සිසුන් ඇතුළත් කරගැනීම මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවනලෙසසයිටම් ආයතනයේ පරිපාලනයට යෝජනා කිරීමට නියමිතය.

එමෙන්ම අවසන් එම්.බී.බී.එස්.විභාගය සමත් සහ සයිටම්ශිෂ්‍යයන්, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍යවේදය පිළිබඳ එක් එක් ක්‍ෂේත්‍රය සඳහා මාසයක් බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක් ලබා ගත යුතු බවටත්, ඉහත කී සායනික පුහුණු කාලය අවසානයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබාදීමේ විභාගයෙන් එම සිසුන් සමත් විය යුතුම බවට යෝජනා කිරීමටත් එහිදී තීරණය කර ඇත.

තවද එළඹෙන මාස හයක කාල පරිච්ඡේදය ඇතුළත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් රජයේ නොවන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කරගත හැකි මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සකස් කිරීමටද ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග මෙම යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට පීඨාධිපතිවරුන් එකඟ වූ බවද එම නිවේදනයේ දැක්වේ.