උදේ කෑම නොගැනීම රෝග රැසකට හේතුවක්‌

උදැසන ආහාර වේල ගැනීමෙන් වැළැකී සිටීම හා එය ප්‍රමාද වී ගැනීමෙන් හෘද රෝග, දියවැඩියාව හා ස්‌ථුලභාවය ඇතුළු බෝ නොවන රෝග ගණනාවක්‌ වැළඳීමේ අවදානම ඉහළ නංවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා සරසවියෙහි පර්යේෂකයින් කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

මෙම අධ්‍යයනය පිළිබඳව හෙළි කරමින් පර්යේෂකයින් කණ්‌ඩායම සඳහන් කර ඇත්තේ අප උදැසන ආහාර වේලට එක්‌ කර ගන්නා ආහාර වර්ග ගැන අවධානය යොමු කිරීම හා සමාන වැදගත්කමක්‌ එම ආහාර වේල ගනු ලබන වේලාව සඳහාද ලබා දිය යුතු බවයි.

උදැසන ආහාර වේල උදෑසන 8.00 වන විට ගැනීම යෝග්‍ය බව වෛද්‍ය මතය වී තිබේ.

මෙම අධ්‍යයනයට අනුව උදැසන ආහාර වේල ගනු ලබන වේලාව මෙන්ම ගනු ලබන ආහාර ප්‍රමාණයද හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රොaක්‌), අධික රුධිර පීඩනය, රුධිර ගත ග්ලුකෝස්‌ මට්‌ටම ඉහළ යැම යන රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ පහළ යාම තීරණය කරන සාධකයන්ය. එමෙන්ම ඉන්සියුලින් සංවේදීතාව අඩු වීම කෙරෙහිද ප්‍රමාද වී උදැසන ආහාර වේල ගැනීම හේතු වන බව මෙහිදී අනාවරණය වී තිබේ.

දිනපතාම උදැසන ආහාර වේල ගන්නා අය අධි කොලෙස්‌ටරොල් හා අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම අඩු බව අධ්‍යයනයේදී හෙළි වී තිබේ. එමෙන්ම උදැසන ආහාර වේල මගහැර කෙටි ආහාරයක්‌ (ස්‌නැක්‌) ගෙන දවස පුරාම එම ආහාරයෙන් ගත කරන අය ස්‌ථුලභාවයට හා දුර්වල පෝෂණය මත දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම වැඩි බව පර්යේෂකයෝ පවසති.

මේ අනුව උදැසන ආහාර වේල ලබා නොගන්නා අය හෘදයාබාධයන්ට ගොදුරුවීමේ අවදානම සියයට 27 කින්ද, ආඝාතයට ගොදුරුවීමේ අවදානම සියයට 18 කින්ද වැඩි බව අධ්‍යයනයේදී හෙළි වී තිබේ. රාත්‍රි ආහාරය ප්‍රමාද වී ගන්නා අයද හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි බව පර්යේෂකයෝ පවසති.