රවීට එරෙහිව ඒකාබද්ධයෙන් පැමිණිල්ලක්‌

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන වාහන කැබලි කර ගෙන්වා නැවත එකලස්‌ කිරීමේ ව්‍යාපාරයකින් රජයට රුපියල් මිලියන 6500 ක පාඩුවක්‌ සිදු කර ඇති බවට චෝදනා කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඊයේ (15 දා) ඒකාබද්ධ විපක්‌ෂය අල්ලස්‌ කොමිසමට හා අපරාධ පරීක්‌ෂණ කොට්‌ඨාසයට පැමිණිල්ලක්‌ කළේය.ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන යහපාලන ටොප් ටෙන් දූෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහන යටතේ අටවැන්න වශයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මෙයට පෙර අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් හත් දෙනකුට විරුද්ධව අල්ලස්‌ කොමිසමට සහ අපරාධ පරීක්‌ෂණ කොට්‌ඨාස වෙත ඒකාබද්ධ විපක්‌ෂය විසින් පැමිණිලි කරන ලදී.

රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින් ඇමැති මණ්‌ඩලය නොමඟ යවමින් ආණ්‌ඩුවට රුපියල් මිලියන 6500 ක බදු මුදලක්‌ අහිමි කිරීම අල්ලස්‌ හෝ දූෂණ පනත යටතේ වරදක්‌ බවත් එම දූෂිත ගනුදෙනුවට අදාළ වාහන එකලස්‌ කිරීමේ සමාගමද වගකිව යුතු බවත්, ඒ පිළිබඳව කඩිනම් පරීක්‌ෂණයක්‌ කර වගකිවයුත්තන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

ඊට අදාළ ලේඛනයන් 12 ක්‌ ඇමුණුම් වශයෙන් පැමිණිල්ල සහ සියලු සාක්‌ෂි ඉදිරිපත් කරන බවද උදය ගම්මන්පිල මහතා පැවැසීය.

වාහන කැබලි කර ආනයනය කර නැවත පාස්‌සා විකුණන්නේ සම්පූර්ණ වාහනයක්‌ ආනයනය කිරීමේදී ගෙවිය යුතු දැවැන්ත බදු මඟ හැරීමේ කූට අරමුණින් බවත්, වාහන 2250 කින් රුපියල් මිලියන 6500 ක අවම අලාභයක්‌ ආණ්‌aඩුවට සිදු වී ඇති බවත් උදය ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය.