තාජුදීන් සිද්ධිය: සුමිත්ට ඇප

රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට මහා අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ස්ථානාධිපතිවරයා මුදා හැරීමට නියම කර තිබේ.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වලට බාධා සිදුකළ හොත් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද ඇප නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

සැකකාර ස්ථානාධිපතිවරයා පසුගිය අප්‍රේල් මස 21 වනදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.