ලෝක ක්‍රිකට්‌ සම්මාන වැඩි හරියක්‌ කෝලිට

ලොව සිටින විශිෂ්ඨතම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අගයමින් ඊ.එස්‌.පී.එන්. ක්‍රික්‌ඉන්ෆෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සම්මාන උළෙල ඊයේ (24 දා) රාත්‍රියේදී ඉන්දියාවේදී පැවැත්වුණි. එහිදී ප්‍රධාන සම්මාන පහක්‌ සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලිගේ නම නිර්දේශ වී තිබුණි.

2016 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ සුවිශේෂ ක්‍රිකට්‌ තරු 95 දෙනකු කාණ්‌ඩ 12 ක්‌ යටතේ තෝරා ගෙන තිබූ අතර එහිදී ඉන්දියානු සුපිරි පිතිකරු විරාට්‌ කෝලි වසරේ විස්‌සයි විස්‌ස පිතිකරු, වසරේ ටෙස්‌ට්‌ පිතිකරු සහ වසරේ එක්‌දින පිතිකරු සම්මාන සඳහා නිර්දේශිත නම් අතරට එක්‌ව තිබුණි. මීට අමතරව වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා වසරේ නායකයා යන සම්මාන සඳහා නිර්දේශිත නම් අතරටද කෝලිගේ නම ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඉකුත් වසරේ විස්‌සයි විස්‌ස ලෝක ශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ මාලන් සැමුවෙල්ස්‌, ක්‍රිස්‌ ගේල්, කාලෝස්‌ බ්‍රැත්වෙයිට්‌ තිදෙනාද විස්‌සයි විස්‌ස සම්මාන සඳහා නිර්දේශිත නම් අතරට ඇතුළත්ව තිබේ. ඉකුත් වසරේ ටෙස්‌ට්‌ තරගවලදී, එක්‌දින තරගවලදී හෝ විස්‌සයි විස්‌ස තරගවලදී කැපී පෙනෙනම ක්‍රීඩා විලාශයක යෙදුන ක්‍රීඩයන් අදාළ නිර්දේශිත නම් අතරට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්‌ද ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව පල්ලකැලේදී ලද ලකුණු 176 ක ඉනිම හේතුවෙන් ඔහුගේ නම ටෙස්‌ට්‌ පිතිකරු සම්මානය සඳහා පළමුව නිර්දේශ විය.

මීට අමතරව දකුණු අප්‍රිකානු පිතිකරුවන් වන ක්‍රිස්‌ මොරිස්‌, ඒ.බී. ඩිවිලියර්ස්‌, ඩේවිඩ් මිලර් සහ ක්‌යින්ටන් ඩී. කොක්‌ද එක්‌දින පිතිකරු සම්මාන සඳහා නිර්දේශිත නම් අතරට එක්‌ව තිබේ. මෙම ඊ.එස්‌.පී.එන්. ක්‍රික්‌ඉන්ෆෝ

සම්මාන තුන් වරක්‌ දිනා ගැනීමට මීට පෙර සචින් ටෙන්ඩුල්කාර්, ලසිත් මාලිංග, රෝහිත් ෂර්මා, ඩේල් ස්‌ටේන්, උමාර් ගුල්, ෂහිඩ් අµරිඩි සහ විරේන්ද්‍ර ෂෙවාර්ග් සමත්ව තිබේ.

2016 වසරේ ලොව සුවිශේෂී දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ විනිසුරු කමිටුව සඳහා ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සමග ඉයන් චැපල්, කර්ට්‌නි වෝල්ෂ්, මාර්ක්‌ බවුචර්, රමීෂ් රාජා සහ ඩැරල් කොලිනන් යන හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ ඇතුළත් වූහ.

මෙම සම්මාන උළෙලෙදී ටෙස්‌ට්‌ වරම් නොලැබූ රටවල්වල හොඳම ක්‍රීඩකයන් සඳහාද සම්මාන පිරිනැමෙන අතර කාන්තා ක්‍රිකට්‌ සඳහා සම්මාන පිරිනැමීම සිදු කරනු ලබයි.