මැතිව්ස් බංග්ලාදේශ සංචාරයට

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ තත්ත්වය සුවදායක පැත්තට හැරෙමින් පවතින අතර, ඔහුට ප්‍රතිකාර කරනු ලබන විශේෂඥ වෛද්‍ය කමිටුවේ විශේෂ පරීක්‍ෂාවකට පෙරේදා ඔහුව ලක්කර තිබිණි.

ඒ පිළිබඳව විමසූ විට එම වෛද්‍ය කමිටුවේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසුවේ දැන් ඇන්ජිලෝ මැතිව්ස්ගේ තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින බවත්, එළැඹෙන බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය මැදදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

"ඔහුට තියෙන්නේ දකුණු පාදයේ නහරවලට අදාළ වූ ආබාධයක්. අපි ඒක හැම්ස්ටි්‍රන් (ඩ්චථඵබපඪදඨ) කියලා හඳුන්වන්නේ. මීට පෙර මෙම ආබාධය ආවෙ කලව ප්‍රදේශයේනේ. දැන් ආබාධය තියෙන්නේ දකුණු කකුලේ උඩ කොටසෙ" යනුවෙන් අදහස් දැක්වීය.

කිහිප වතාවක්ම ඇන්ජිලෝ මැතිව්ස් මෙම ආබාධයෙන් පෙළීමට හේතුව කුමක්දැයි විමසූ විට ඊට පිළිතුරු දෙමින් කරුණු දැක්වූ මහාචාර්යවරයා "හේතුව මෙයා ටෙස්ට්, එක්දින හා විස්සයි-20 යන ආකෘති තුනම ක්‍රීඩා කරනවා. දැන් බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ මේ තරග ආකෘති තුනේම ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. අපි බැලුවම ගිය අවුරුද්දෙ ලෝකෙම වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කරලා තියෙන්නේ ඇන්ජිලෝ මැතිව්ස්. අනෙක එයා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නිසාත් පන්දු යවනවා. මෙහෙම දිගටම ක්‍රීඩා කිරීම ශරීරයට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ආවාම ආබාධ වැඩිවෙනවා. මේකට විසඳුමක් විදියට ටෙස්ට් තරගවලදී පන්දුයැවීම අඩුකිරීම හෝ නැත්නම් නවත්වන්න වෙනවා. අනෙක් කරුණ තමයි හැම තරගයකටම ඇන්ජිලෝ යොදාගන්න හොඳ නැහැ. කොහොමත් ආකෘති තුනම අවිවේකීව ක්‍රීඩා කළාම ආබාධ මතුවෙන්න තිබෙන ප්‍රවණතාව වැඩියි. ඔහුට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. යහපත් ශාරීරික යෝග්‍යතාවයෙන් ඉන්නවා. හොඳට පුහුණුවීම් කරනවා. වෙලා තියෙන්නෙ හොඳම කාර් එකක් වුණත් සර්විස් නොකර හැමදාම දිව්වොත් කැඩෙනවානේ." යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් තවත් සති තුනකින් පමණ ශ්‍රී ලංකා නායකයාගේ ආබාධය සුවවනු ඇතැයි විශ්වාසය පළ කළ අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ තවත් සති දෙකකින් පසුව ඇන්ජිලෝ මැතිව්ස්ව යළි පරීක්‍ෂාවට ලක්කරන බවයි. ඒ අනුව ලබන මාර්තු පළමු සතියේ ශ්‍රී ලංකාවේදී ඇරැඹෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ මැද වකවානුව වනවිට ඔහුට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්විය හැකි බව ප්‍රකාශ කළ මහාචාර්යවරයාගෙන් ඇන්ජිලෝට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායම පිළිබඳවද විමසූ විට ඊටද පිළිතුරු දෙමින් "මමත් විශේෂඥ වෛද්‍ය හරිදු විජේසිංහත්, විශේෂඥ වෛද්‍ය තරිදු වැළිතිලකත් තමයි එයා බලන්නේ. ‍ෙදාස්තර තරිදු ලංකාවේ නොවෙයි ඉන්නේ. එයා එංගලන්තයේ සිට ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ අපිට සම්බන්ධ වෙනවා. ලංකාවේ ඉන්න අරවින්ද කියන භෞතචිකිත්සකත් බලනවා." යනුවෙන් පැවැසූ අතර, "පසුගිය තරග බැලුවා. අපේ කණ්ඩායම ඉතා හොඳට කළා. ලසිත් මාලිංගගෙ ආබාධයට ප්‍රතිකාර කළෙත් අපි කණ්ඩායමමයි. ඔහු නැවත ආපු එක කණ්ඩායමට ලොකු ශක්තියක්.

එයාගේ ආබාධය සුවවෙලා තිබුණා. ඊට පසු ඩෙංගු හැදුණා. නැත්නම් මාලිංගට දකුණු අප්‍රිකානු සංචාරයටත් යන්න තිබුණා. දැන් එයාට පන්දුවාර 50 තරග ක්‍රීඩා කරන්නත් බාධාවක් නැහැ. මම හිතන්නේ ඒ සඳහා මාලිංගත් කැමැත්ත පළකරලා තියෙනවා. ඒ නිසා ලබන ජුනි මාසෙ එංගලන්තෙ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට මාලිංගට ක්‍රීඩා කරන්න හැකියාව තිබෙනවා" යන්න මහාචාර්යවරයාගේ අදහසයි.