ලසිත පුතුට ලෝකය දකින්න උදව් කරන්න


සෑම මවුපිය යුවලකටම තිබෙන වටිනාම සම්පත දරුවන්ය. මිනිසාට පමණක් නොව එය සතා සිව්පාවට ද පොදු වූ ධර්මතාවයකි. උපතින් දෑසම අහිමි මාස අටක් වයසැති තම ආදරණීය පුතණුවන්ට දෑසක් ලබා ගැනීමට වෙහෙසෙන මවුපිය යුවලක් විල්ගමුවේ දී අපට හමු විය.

විල්ගමුව, හෙට්ටිපොළ, බුලත්අත්තාඔය හි පදිංචි ඒ. ජී. අබේසිංහ සහ අජනත්තා කුමාරි අසාමාන්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් දුකට පත්වී සිටින මවුපියවරු වෙති.

ඒ ගැන ඔවුන් දැක්වූ අදහස් මෙසේය.

"අපි විවාහ වුණේ 2002 අවුරුද්දේ යෝජනාවකින්. අපේ පළවෙනි දරුවාට දැන් අවුරුදු 10යි. එයා 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මේ අපේ දෙවැනි දරුවා. එයාගේ නම ලසිත ප්‍රදීප් කුමාර. අනිත් හැම අම්මා කෙනෙක් වගේම මමත් පුතා මෙලොව එළිය දකින කල් හීන දකිමින් හිටියා. පුතා ලැබුණාට පස්සේ මගේ හදවත කඩා වැටුණා. අනේ දෙවියනේ මගේ දරු පැටියාට ඇස් දෙකක් නෑ. මුහුණ විකෘති වෙලා. මම නොසෑහෙන්න ඇඬුවා. දරුවා බලන්න එන තාත්තා මොන වගේ තීරණයක් ගනීයිද කියලා මට හිතා ගන්න බැරි වුණා.

දරුවා ලැබිලා පැය කිහිපයකට පස්සේ මහත්තයා ආවා. එයා දැක්ක ගමන් මට කෑ ගැහිලා ඇඬුණා. මහත්තයාටත් ඇඬුණා. එයා කිව්වා අපි දෙන්නා පුළුවන් විදිහට දරුවා හදා ගමු කියලා. පුළුවන් නම් අපි දෙන්නා එක ඇහැ ගානේ දීලා පුතාට ලෝකය බලන්න පෙනීම දෙමු කියලා. ඒ වචන ටික මට යෝධ ශක්තියක් වුණා. දෙවියෙක් වගේ ස්වාමි පුරුෂයෙක් මට ලැබිලා තියෙන්නේ. එදා ඉඳන් මාස අටක් තිස්සේ අපි පුතා වෙනුවෙන් වෙහෙසෙනවා. කොළඹ ඇස් රෝහලට යනවා. එහි ගිහිං ප්‍රතිකාර ගන්න සති ගණන් නතර වෙලා ඉන්න ඕනෑ. ඒකට ගොඩක් වියදම් යනවා. මගේ මහත්තයාටවත් මටවත් ස්ථීර රැකියාවක් නෑ. අපි ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. ඒ හම්බ කරන මුදලත් වියදම් කරන්නේ දරුවා වෙනුවෙන්. දන්න කියන විශේෂඥ වෛද්‍යවරුන් ළඟට ගිහින් ප්‍රතිකාර ගන්නවා.

අද සජිත් ඇමැතිතුමා එනවා කියන ආරංචිය ලැබුණා. එන්න සල්ලි තිබුණෙ නෑ. අපි ආවේ මගේ අතේ තිබුණ මුද්ද උකස් කරලා. ඇමැතිතුමා අපිට ගෙදර හදලා දෙන්න පොරොන්දු වුණා. එය අපිට ලොකු ශක්තියක්. ඒ වෙලාවේ ඇමැතිතුමා ළඟ හිටපු මහත්වරුන් පුළුවන් විදිහට අපිට මුදලින් උපකාර කළා. ඒ වෙලාවේ රුපියල් පහළොස් දහසක් විතර අපට ලැබිලා තිබුණා. අපි හරිම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු. අපිට අපේ ගමේ අය, නෑදෑයෝ ගොඩක් උදව් කරනවා. ඒ අයත් ගොඩක් දුප්පත්." බිළිඳුන් ගඟට විසි කරන,මහ මඟ කුණු ගොඩවල තබා යන, වැසිකිළි වළවල්වලට දමන මව්වරුන් සිටින නූතන සමාජයේ අජන්තා කුමාරි සැබෑම මාතෘත්වය දෝතින් ගත් අම්මා කෙනෙකි.

මේ පුතු සුවපත් කරගැනීමට උදව් කළ හැකි අයෙක් වේ නම් 072-6538117 හෝ 072-3929917 දුරකතන අංකවලට කතා කරන්න.