රතන හිමි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතුයි

අතුරලියේ රතන හිමියන්ට ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට අයිතියක්‌ නැති බවත්, එහෙයින් උන්වහන්සේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (16 වැනිදා) සඳහන් කළේය.

මෙම මන්ත්‍රී ධුරය ජාතික හෙළ උරුමය පක්‍ෂයට අයිති බවත්, උන්වහන්සේ තවදුරටත් එහි රැඳී සිටීම පොරොන්දු කඩ කිරීමක්‌ බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණයෙන් පසුව අගෝස්‌තු 21 වැනිදා පැවති පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී අතුරලියේ රතන හිමියන් පක්‍ෂයේ සහ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිවලට එකඟව සිටින බවත්, යම් විවේචනයක්‌ ඇත්නම් එය පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරන බවට පොරොන්දු වී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

රතන හිමියන්ට මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක්‌ නැතැයිද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් සහ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මහ මැතිවරණයේ දී භික්‍ෂුවකට තරග කිරීමට අවස්‌ථාවක්‌ නොමැති විටක පසුගිය මහ මැතිවරණයේදී එම පක්‍ෂ දෙක භික්‍ෂුවකට තරග කිරීමට අවස්‌ථාවද සලසා දුන් නමුත් රතන හිමියන් මහ මැතිවරණයට තරග නොකළ බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය. පාඨලී චම්පික රණවක මහතා ඊයේ එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ්හි මාධ්‍යවේදීන් සමඟ පැවති විශේෂ හමුවකදීය.