ඩුප්ලිකේට් බන්දු සමරසිංහ ඇතුළු 5කට නඩු

ප්‍රවීණ නළු බන්දු සමරසිංහ මහතාගේ රංගනය අනුකරණය කරමින් රංගනයේ යෙදූ ජනක කුමාර ඇතුළු ඔහු යොදා චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන් පස්දෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ නඩු පැවරීය.

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ චෝදනා 3ක් විත්තිකරුවන්ට එරෙහිව පොලිසිය ගොනු කර තිබේ.

එලෙස පැමිණිලි ගොනු කරනු ලැබුවේ බෝතලේගම රණවක ආරච්චිලාගේ ජනක කුමාර, රණසිංහ ආරච්චිගේ මාලිංග ශ්‍රීමාල්, කේ. එස්. කැලුම් උදය කුමාර අල්විස්, චමින්ද කුමාර රණසිංහ හා වඩුමේස්ත්‍රිගේ උදය වර්ණසූරිය යන අයටය.

දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටියෙන් ඔවුන්ට සිතාසි නිකුත් කළ අතර පළමු විත්තිකරු පෙර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා උදය වර්ණසූරිය හා චමින්ද කුමාර යන අය ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.

වර්ෂ 2015 පෙබරවාරි මස දිනක පිටකොටුව වෙළෙඳසල්වල විකිණීම සඳහා ගෘහස්ත චිත්‍රපට හා සී.ඩී, ඩී.වී.ඩී. පටවල බන්දු සමරසිංහ අනුකරණය කරමින් රංගනයේ යෙදුණු බව පවසමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ චෝදනා තුනක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විත්තිකරුවන් වෙත ගොනු කර තිබිණි.

155/94 බී. වත්තේ ගෙදර මහරගම පදිංචි ප්‍රවීණ නළු බන්දුසේන සමරසිංහ මහතා 2015/2/15 කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.