ලෝක විනාශය ඔක්තෝබරයේ

ඔක්තෝබරයේදී ලෝක විනාශය සිදුවන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් වී තිබේ. පෘථිවිය වෙත ඇදී එන විශාල ග්‍රහලෝකයක් ගැටීමෙන් මේ විනාශය සිදුවන බව එයින් කියයි. ඒ අනුව 2017 ඔක්තෝබර් මාසයේදී හොලිවුඩ් සිනමාවේ දැක්වෙන අන්දමේ භයානක විනාශයක් ලෝකයේ සිදුවනු ඇත.

අපගේ සූර්යයා සතුව එය වටා යන තවත් සූර්යයකු ඇති බවත් එම ද්විත්ව නිවුන් තරැව කාලාන්තරයකට වරක් අපේ සූර්යයාට ආසන්න වන බවත් මේ මතය මගින් පැහැදිලි කරයි.
අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරක ඇති බව කියන දහවැනි ග්‍රහයා හෙවත් නිබුරු ග්‍රහලෝකය එම සූර්යයාගේ බලපෑමෙන් පෘථිවිය වෙත ඇදීවිත් ගැටීම සිදුවන බවත් එය පෙන්වා දෙයි.

නිබුරු හැඳින්වෙන මෙයට තවත් නමක් වන්නේ දහවැනි ග්‍රහයා හෙවත් Planet X යන්නයි. මේ මතය තදින්ම ඉදිරිපත් කරන තැනැත්තෙකු වන ආන්දෝලනාත්මක අබිරහස් පිළිබඳ කතුවරයකු වන ඩේවිඩ් මීඩේ සිය Planet X – The 2017 Arrival නමැති ග්‍රන්ථයේ මේ බව සනාථ කරන කරුණු ඉදිරිපත් කර තිබේ. 

නිබුරැ නැත්නම් Planet X හෙවත් දහවැනි ග්‍රහයා පිළිබඳ එළිදරව්වක් පසුගිය වසරේ තාරකා විද්‍යාත්මක පර් යේෂණ කරන කැල්ටෙක් ආයතනය ඉදිරිපත් කර තිබුණි. එය අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින්ගේ ගමන් තලයට ඇලවූ තලයක ගමන් කරන්නක් බව එයින් කියැවුණි. Planet X අප වෙත ඇදගෙන එන අපේ සූර්යයාගේ සහෝදර තාරකාවද අප වෙත ළඟාවෙන්නේ එබඳු ආනත මඟකින් වන අතර එය දකුණු ධ්‍රැවය දෙසින් පෘථිවියට ළඟා වීමට නියමිතය. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය 2003 තරම් ඈතක සිට වරින් වර මතුවන්නකි. ඒ ප්‍රකාශයට අනුව නිබුරැ හෙවත් Planet X සමග සූර්යයාගේ සහෝදර තරුව වටා යන තවත් ග්‍රහලෝක හතක් මෙසේ අපේ ග්‍රහ තලය වෙත ළඟාවීමට නියමිතය. 

නමුත් මේ කතාව නාසා ආයතනය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.